04

E   |     |  

 දිනය: 2025-11-12   පිළිතුර ලබා දී ඇත 

1323/2025: රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධිත සිසුන්: පහසුකම්‍

1323/2025

ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා,—  අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—

(අ)          (i)      ආබාධ සහිත සිසුන්ට සිය පාඨමාලාවන් හැදෑරීම සඳහා පහසුකම් රජයේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ තිබේද;

              (ii)      බ්‍රේල් මාධ්‍යය, සංඥා භාෂාව සහ විශාලනය කරන ලද අකුරු ඇතුළු වෛකල්පිත සන්නිවේදන මාධ්‍යය ප්‍රවර්ධනය කිරීමට ප්‍රමාණවත් පියවර ගෙන තිබේද;

  (iii)  නොඑසේ නම්, ඒ සඳහා ‍ගනු ලබන පියවර කවරේද;

  (iv)  විභාගවලට පෙනී සිටීමේදී ආබාධ සහිත සිසුන්ට ලබාදී ඇති පහසුකම් කවරේද;

  (v)  විභාගවලදී ඒ ඒ ආබාධිත තත්ත්වයන්ට සාපේක්ෂව ආබාධිත සිසුන්ට සාධාරණ අවස්ථා නිර්මාණයවී තිබේද;

  (vi)  පරිගණක ආශ්‍රයෙන් විභාගවලට පිළිතුරු සැපයීමට සෑම විශ්වවිද්‍යාලයකදීම ආබාධ සහිත සිසුන්ට අවස්ථාව ලැබෙන්නේද;

  (vii)    ආබාධ සහිත සිසුන්ට පුස්තකාල පරිශීලනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් පුළුල් කිරීමට ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  (i)  ආබාධ සහිත සිසුන් සඳහා ප්‍රමාණවත් ප්‍රවේශ පහසුකම් රජයේ විශ්වවිද්‍යාලවල තිබේද;

  (ii)  නොඑසේ නම්,  ප්‍රවේශ පහසුකම් පුළුල් කිරීමට පියවර ගන්නේද;

  (iii)  ඒ වෙනුවෙන් 2026 වර්ෂයට අදාළ අයවැය තුළින් ප්‍රතිපාදන වෙන් කරන්නේද;

යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)  නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-11-12

අසන ලද්දේ

ගරු සුගත් වසන්ත ද සිල්වා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ආබාධ සහිත සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක කෙරෙන විශ්වවිද්‍යාලවල කායික අශක්නුතාවන් ඇති අපේක්ෂකයන් ජෛවීය විද්‍යා, භෞතීය විද්‍යා, වාණිජ්‍ය හා කලා යන උපාධි පාඨමාලා හැදෑරීම සඳහාද, දෘෂ්‍යාබාධිත අපේක්ෂකයන් කලා උපාධි පාඨමාලාව හැදෑරීම සඳහාද පහසුකම් සලසා ඇත. නමුත්, සියලු උපාධි පාඨමාලා සඳහා මේ වන විට එම අවස්ථාව නොමැත. මේ වන විට ආබාධ සහිත සිසුන් සඳහා ප්‍රතිපත්ති සකස් කරලා තිබෙනවා. ඒ වාගේම ඉතිරි පාඨමාලා සඳහා ශිෂ්‍යයන් බඳවා ගැනීමට අදාළ කටයුතු සූදානම් වෙමින් තිබෙනවා.

(ii) දෘශ්‍යාබාධිත සිසුන් බඳවා ගන්නා විශ්වවිද්‍යාලයන්හි එම සිසුන්ට බ්‍රේල් මාධ්‍යය, විශාලනය කරන ලද අකුරු යන පහසුකම් සපයා තිබේ. මීට අමතරව එම සිසුන්ට ආබාධිත සිසුන් සඳහා වන විශේෂ මෘදුකාංගය ඉගැන්වීම සිදු කරනු ලැබේ. ඒ මඟින් දෘශ්‍යාබාධිත සිසුන්ට හෝ වෙනත් විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ට පරිගණකය මඟින් ප්‍රශ්න පත්‍රය කියවා ගැනීමට අවශ්‍ය වන පරිදි ප්‍රශ්න පත්‍රය සකස් කිරීමද, එය ශ්‍රවනය කිරීමට පහසුකම් සැලැස්වීමද සිදු කරනු ලබයි. අවශ්‍ය සිසුන්ට වාචිකව පිළිතුරු සැපයීමේ - voice typing - පහසුකම් සපයා ඇත.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ආබාධ සහිත සිසුන්ට ඕනෑම ප්‍රථම උපාධි පාඨාමාලාවකට විශ්වවිද්‍යාල ප්‍රවේශ ලබා දීම සඳහා නව ප්‍රතිපත්තියක් අනුමත කර ඇති අතර, එය ඉදිරියේදී ක්‍රියාත්මක කෙරෙන විට මෙම පහසුකම් තව තවත් පුළුල් කිරීම සඳහා සැලසුම් කරමින් පවතී.

(iii) ඉහත (ii) ප්‍රශ්නයේ පිළිතුරම අදාළ වේ.

(iv) · සියලුම විභාගවලදී විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ට පැයකට විනාඩි 10ක අතිරේක කාලයක් විභාග සඳහා පෙනී සිටීමට ලබා දීම සහ පැය 03ක කාලයක් සඳහා විනාඩි 30ක අතිරේක කාලයක් ලබා දීම සිදු කරයි.

 · සියලුම විශේෂ අවශ්‍යතා සහිත (ආබාධ සහිත) සිසුන් සඳහා වෙනම විභාග මධ්‍යස්ථාන ලබා දීම

 · පිළිතුරු සැපයීම සඳහා සහ ප්‍රශ්න පත්‍ර කියවා ගැනීමට voice typing සඳහා අවශ්‍ය වන පරිගණක පහසුකම් සියල්ල සැපයීම

· ඇතැම් විශ්වවිද්‍යාලයන්හි නේවාසිකාගාරයේ සිට විශ්වවිද්‍යාලය වෙත පැමිණීමට සහ ආපසු යෑමට ප්‍රවාහන පහසුකම් සපයා තිබීම

· විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ට පන්තිය තුළ පැවැත්වෙන ඇගයීම් සඳහා අනෙකුත් සිසුන්ට වඩා වැඩි කාලයක් -ඒ ඒ ආබාධවලට අදාළව- අවශ්‍ය වන බැවින් දේශන අවසන් වී යම් කාලයක් ඇතුළත ඇගයීම් භාර දීමට ඉඩ කඩ සැලසීම

· ලිවීමේ අපහසුතා සහිත සිසුන්ට විභාගයන්හිදී පිළිතුරු ප්‍රකාශ කරන විට එය පටිගත කරන අතරතුර, කාර්ය මණ්ඩලයේ අයෙකු විසින් එම සිසුවා වෙනුවෙන් ඔහු හෝ ඇය ලබා දෙන පිළිතුර ලිවීම

· විශාලනය කරන ලද අකුරු සහිත ප්‍රශ්න පත්‍ර ලබා දීම‍

· විභාග ශාලාවල විශේෂ පහසුකම් සැපයීම (රෝද පුටු හෝ විශේෂිත පුටු ගෙන යෑමේ පහසුකම)

විභාගය තිබෙන්නේ උඩු මහලක නම්  පහළ මහලට අවස්ථාව ලබා දීම

(v) විභාගවලදී සියලුම ආබාධ සහිත සිසුන්ට අතිරේක කාලයක් සැපයීම, කාර්ය මණ්ඩලයේ සහය, විශාල කරන ලද ප්‍රශ්න පත්‍ර සහ විශාලන යන්ත්‍ර සැපයීම සහ අවශ්‍ය සියලු පහසුකම් සහිතව සාධාරණ අවස්ථා සැපයීම ආදි අවස්ථා උදා කර දී ඇත.

ඉදිරියේදී බඳවා ගන්නා සිසුන් සඳහා ඒ ආබාධ සහිත සිසුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට කටයුතු සලසා දෙනවා.

(vi) ඇතැම් විශ්වවිද්‍යාලවල පරිගණක ආශ්‍රයෙන් විභාගවලට පිළිතුරු සැපයීමට අවස්ථාව සලසා ඇත.

(vii) ආබාධ සහිත සිසුන්ට පුස්තකාල පරිශීලනය කිරීම පහසු කිරීම සඳහා ඇතැම් විශ්වවිද්‍යාල ගෙන ඇති පියවර කිහිපයක් පහත සඳහන් වේ.

· කථන ග්‍රන්ථ ව්‍යාපෘති ආරම්භ කර තිබීම

· බ්‍රේල් ක්‍රමයේ පොත් සහ මුද්‍රිත පොත පත විශේෂ මෘදුකාංගයක් මඟින් හඬ කවා එය ශ්‍රවණය කිරීමට අවස්ථාව ලබා දී තිබීම

· පුස්තකාල ප්‍රවේශය - entrance - පහසු වනලෙස සකසා තිබීම

· පුස්තකාල සහායකවරුන්ගේ සහාය ලබා දීම

· සෝපාන පහසුකම් සැලසීම

 (ආ) (i) ඔව්.

වර්තමානය වන විට විශ්වවිද්‍යාල හතරක මේ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දී තිබෙනවා. නමුත් ඉදිරියේදී -ලබන අවුරුද්ද වනකොට- රුපියල් මිලියන 200ක් පාවිච්චි කරනවා, තවත් විශ්වවිද්‍යාල 5ක් දක්වා මෙය වර්ධනය කිරීම සඳහාත්, සියලු පාඨමාලා සඳහා ශිෂ්‍යයන් ඇතුළත් කර ගැනීමටත්, ඇතුළත් කර ගත්තු ශිෂ්‍යයන්ට ඒ ඒ අවශ්‍යතා අනුව පහසුකම් සැලසීම සඳහාත්.

මේ සම්බන්ධව වැඩි විස්තර පහත පරිදි දැක්විය හැක.

වර්තමානය වන විට රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ආබාධ සහිත සිසුන් ඇතුළත් කර ගනු ලබන්නේ ජෛවීය විද්‍යා, භෞතීය විද්‍යා, වාණිජ්‍ය හා කලා යන උපාධි පාඨමාලා හැදෑරීම සඳහා පමණි.

2024 වර්ෂයේ අ.පො.ස. (උසස් පෙළ) විභාගය පදනම් කරගෙන ආබාධ සහිත සිසුන් ඇතුළත් කර ගන්නා ඉහත පාඨමාලාවන්ට අමතරව පහත සඳහන් පාඨමාලා සඳහා සිසුන් බඳවා ගැනීමට විශ්වවිද්‍යාල එකඟතාව ලබා දී ඇති අතර එය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අනුමත කර ඇත.

විශ්වවිද්‍යාලය

පාඨමාලාව

දෘශ්‍යාබාධිත සිසුන්

කායික අශක්නුතාවන් සහිත සිසුන්

ශ්‍රී ලංකා  අග්නිදිග  විශ්වවිද්‍යාලය

කළමනාකරණය

-

05

 

කළමනාකරණය සහ තොරතුරු තාක්ෂණය

-

02

වවුනියා විශ්වවිද්‍යාලය

ව්‍යවහාරික විද්‍යා (ජෛවීය විද්‍යා)

-

05

 

ව්‍යවහාරික විද්‍යා (භෞතීය විද්‍යා)

-

 

 

තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය (ICT)

-

 

 

තොරතුරු සන්නිවේදන තාක්ෂණය

-

10

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

කළමනාකරණය

-

05

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය

සංගීතය

03

03

 

දෘශ්‍ය කලා

-

03

එකතුව

 

03

33

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මේ සඳහා නව ප්‍රතිපත්තියක් අනුමත කර ඇති අතර, ඉදිරියේදී ප්‍රවේශ පහසුකම් වැඩි කිරීමට පියවර ගනු ඇත. ඒ අනුව දැනට පවතින පාඨමාලාවන්ට අමතරව සියලු පාඨමාලාවලට කායික අශක්නුතාවන් ඇති සිසුන් බඳවා ගැනීමට බලාපොරොත්තු වේ.

              (ii)      ඉහත (i)හි පිළිතුරම අදාළ වේ.

   (iii) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පවතින විශ්වවිද්‍යාලවල දෘශ්‍යාබාධිත සහ කායික අශක්නුතා ඇති සිසුන් සඳහා පහසුකම් වැඩිදියුණු කිරීමට 2026 වර්ෂයට අදාළ අය වැයෙන් ප්‍රතිපාදන වෙන් කිරීමට ක්‍රියාමාර්ග ගනිමින් සිටී.

මෙහිදී සියලු උපකුලපතිවරුන්ට දන්වා තිබෙනවා, 2026 වර්ෂයට අදාළ අය වැය මත ඊට අදාළ vote එකක් තීරණය කරගෙන 2026 වර්ෂයට මෙම පහසුකම් සලසා දෙන ලෙස.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2026-01-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks