01

E   |     |  

 දිනය: 2025-10-07   පිළිතුර ලබා දී ඇත 

1306/2025: ගාල්ල දිස්ත්‍රික්කය: උග්‍ර පානීය ජල හිඟය

1306/2025

ගරු චානක මාදුගොඩ මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ගාල්ල දිස්ත්‍රික්කයේ මේ වනවිට උග්‍ර පානීය ජල හිඟයක් පවතින බව දන්නේද;

              (ii)      එම පානීය ජල හිඟය විසඳීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

            (iii)        පසුගිය රජය විසින් ගාල්ල, වක්වැල්ල ජල පොම්පාගාරයේ, ජල ඝන ලීටර      50,000ක ධාරිතාවයකින් යුතු ජල ටැංකියක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලද බව දන්නේද;

  (iv)  එම ජල ටැංකිය ඉදිකිරීමේ කටයුතු අතරමග නතර වීමට බලපාන ලද හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-10-07

අසන ලද්දේ

ගරු චානක මාදුගොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්. මෙයට හේතු වන්නේ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මඟින් සපයනු ලබන ජල ධාරිතාව ප්‍රමාණවත් නොවීමයි.

                        විශේෂයෙන් ගාලු දිස්ත්‍රික්කයේ දෛනිකව නිෂ්පාදනය කරනු ලබන ජල ධාරිතාව ඝන මීටර් 106,100කි. මෙයින් අපතේ යන, එහෙම නැත්නම් ආදායම් නොලබන ජල ධාරිතාව හැටියට වාර්තා වෙනවා, ඝන මීටර් 31,830ක් -සියයට 30ක්-. ඒ ප්‍රමාණය හැරුණුකොට පරිභෝජනය සඳහා වන ජල ප්‍රමාණය ඝන මීටර් 74,270ක්. දැනට ගාල්ල දිස්ත්‍රික්කයේ ජල සම්බන්ධතා තිබෙනවා, 146,600ක්. මේ ජල ධාරිතාව ප්‍රමාණවත් නොවීම කියන කාරණය නිසා තමයි සමහර ස්ථානවල අඛණ්ඩ ජල සැපයුමක් පවත්වාගෙන යන්න අපහසු වෙලා තිබෙන්නේ.

(ii) අපි දැන් හපුගල intake එකෙන් ඝන මීටර් 30,000ක ධාරිතාවකින් යුත් ජල පවිත්‍රාගාරයක් ලබා ගන්න සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා රුපියල් බිලියන 37ක් ඇස්තමේන්තුගත කරලා තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අධ්‍යක්ෂ අනුමැතිය ලබාගෙන, දැන් එය ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා යොමු කරලා තිබෙනවා.

ඒ වාගේම මේ ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වන විදේශ ණය ලබා ගැනීම සඳහා අපි මූලික සාකච්ඡාව සිදු කළා. ඔවුන් ඒ සඳහා මූලික එකඟතාව ලබා දී තිබෙනවා. ඒ අනුව අපි හිතනවා, 2027 අවුරුද්දේ මේ ජල ව්‍යාපෘතිය පටන් ගන්න පුළුවන් කියලා.

(iii) ඝන ලීටර 50,000ක ජල පවිත්‍රාගාරයක් ඉදිකරන්න කටයුතු කර තිබුණත්, 2021, 2022 හා 2023 වර්ෂවල පැවැති ආර්ථික අර්බුදය නිසා ඒ කටයුතු ඇනහිට තිබෙනවා. මම සඳහන් කළා වාගේ මූලික අදියර හැටියට ඝන මීටර් 30,000ක ජල පවිත්‍රාගාරයක් හදන්න අපි සැලසුම් සකස් කර ඒ සඳහා මූලික අනුමැතිය අරගෙන තිබෙනවා.

(iv) ඇත්තටම මම කලින් සඳහන් කළා වාගේ ආර්ථික අර්බුදය නිසා තමයි කලින් යෝජනා වෙච්ච ජල පවිත්‍රාගාරය ඉදිකිරීමේ කටයුතු නතර වෙලා තිබෙන්නේ. නමුත්, අපි බලයට පත් වුණාට පසු නැවත වරක් ඒ පිළිබඳව සොයා බලා දැන් ජල පවිත්‍රාගාරයක් ඉදිකරන්න කටයුතු කර තිබෙනවා. අපි විශ්වාස කරනවා, ඒ ජල පවිත්‍රාගාරය ඉදි කළාට පසු ගාල්ල දිස්ත්‍රික්කයේ තිබෙන - විශේෂයෙන් ඔය වෙරළ තීරය සහ ඒ අවට ප්‍රදේශවලත්, රට අභ්‍යන්තරයේ කොටසකත් - පානීය ජල අවශ්‍යතාව සම්පූර්ණ කරන්න අපට පුළුවන්කම ලැබෙයි කියලා.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-10-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks