01

E   |     |  

 දිනය: 2025-11-12   පිළිතුර ලබා දී ඇත 

1289/2025: ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම්: පැවරීම

1289/2025

ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් මුළු ඉඩම් ප්‍රමාණය එක් එක් දිස්ත්‍රික්කය අනුව වෙන් වෙන් වශයෙන් අක්කරවලින් කොපමණද;

(ii) කොමිෂන් සභාවට අයත් ඉඩම් පුද්ගලයන්ට සහ රජයේ හා පෞද්ගලික ආයතන වෙත පැවරීමේදී බලපවත්වන නීති කවරේද;

(iii) කොමිෂන් සභාවේ ඉඩම් පැවරුම් සහතික වර්ගීකරණය කර තිබේද;

 (iv) නිකුත් කර ඇති නීයාදන පත්‍රයක් අවලංගු කිරීමට බලය ඇත්තේ කාටද;

(v) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් සම්බන්ධ නීති යාවත්කාලීන කිරීමට/සංශෝධනය කිරීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-11-12

අසන ලද්දේ

ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      1972 අංක 01 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත මඟින් ප්‍රකාශිත ඉඩම් ප්‍රමාණය අක්කර 1,418,391යි, රූඩ් 03යි, පර්චස් 37ක් හා 1975 අංක 39 දරන පනත මඟින් ප්‍රකාශිත ඉඩම් ප්‍රමාණය අක්කර 418,754යි, රූඩ් 02යි, පර්චස් 28ක් වේ.

 

                        උක්ත ප්‍රකාශිත ඉඩම් අතුරින් වරින් වර සංශෝධිත 1972 අංක 01 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට පැවරී ඇති ඉඩම්, දිස්ත්‍රික් මට්ටමින් පැවරී ඇති අතර පවරා ගැනීමේදී පැවරුණු සමස්ත ඉඩම් ප්‍රමාණය මැනුම් කර නොමැත. එම ඉඩම් ප්‍රමාණය ඇමුණුමෙහි දක්වා ඇත. එය දීර්ඝ ඇමුණුමක් බැවින් සභාගත* කරමි..

මේ වන විට පිළියෙළ කර ඇති ඉඩම් ලේඛනයට අනුව හඳුනාගනු ලැබූ ඉඩම් මිනින්දෝරු දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වී සිතියම්ගත කරමින් පවතී.

ගරු කථානායකතුමනි, මේ ඉඩම් 1972 ඉඩම් අත්පත් කර ගැනීමේ පනත හරහා අත්පත් කර ගත්තත්, එදා මෙදා තුර මේ ඉඩම් පවරා ගැනීමට සහ නිවැරදිව මැනුම් කර ලේඛනගත කරන්න සමත් වෙලා නැහැ කියන එක තමයි අපි දිගින් දිගටම හඳුනා ගනිමින් තිබෙන්නේ. ඒ කොහොම නමුත්, දැනට මේ සඳහා යම් මැදිහත්වීමක් කරමින්, නිවැරදි කරමින් යනවා.

(ii) වරින් වර සංශෝධිත 1972 අංක 01 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ විධිවිධාන හා ඉඩම් බැහැර කිරීමේ පාලන චක්‍රලේඛ අංක 2024/03 චක්‍රලේඛයට අනුව තමයි මේ සඳහා ක්‍රියාමාර්ග ගනිමින් තිබෙන්නේ.

(iii) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මඟින් පැවරුම් සහතික නිකුත් කිරීමක් සිදු නොකරයි.

(iv) අදාළ නොවේ.

 

(v) 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත පහත පරිදි සංශෝධනය වී ඇත.

1.  ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 39 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ (සංශෝධිත) පනත

2. 1981 අංක 14 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ (සංශෝධිත) පනත

3. 1981 අංක 39 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ (විශේෂ විධිවිධාන) පනත

4. 1986 අංක 14 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ (විශේෂ විධිවිධාන) පනත

5. 1986 අංක 18 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ (විශේෂ විධිවිධාන සංශෝධිත) පනත

 

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-11-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අරවින්ද සෙනරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks