01

E   |     |  

 දිනය: 2025-10-22   පිළිතුර ලබා දී ඇත 

1283/2025: විකල්ප මාර්ග කිලෝමීටර 100,000ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන: කළුතර දිස්ත්‍රික්කය

1283/2025

ගරු ධනුෂ්ක රංගනාත් මහතා,—             ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       විකල්ප මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනට ඇතුළත් කර ඇති කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග කවරේද;

             (ii)       ඒ අතරින් මේ වනවිට සංවර්ධන කටයුතු අවසන් කර ඇති මාර්ග සහ අවසන් කර නොමැති මාර්ග වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම එක් එක් මාර්ගය වෙනුවෙන් වැය කර ඇති මුළු පිරිවැය වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) එම එක් එක් මාර්ගයේ සංවර්ධන කටයුතුවල ප්‍රගතිය වෙන් වෙන් වශයෙන් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) සංවර්ධන කටයුතු අවසන් කර නොමැති මාර්ගවල වැඩ කටයුතු අවසන් නොකිරීමට හේතු කවරේද;

(ii) එම මාර්ග සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කර තිබේද;

(iii) එසේ නම්, එම ක්‍රියාමාර්ග කවරේද;

(iv) එම මාර්ගවල නඩත්තු කටයුතු නිසි පරිදි සිදු කරන්නේද;

(v) ඉහත වැඩසටහන වෙනුවෙන් වෙනත් ආයතනවලට පවරා ගන්නා ලද මාර්ග, නැවත අදාළ ආයතන වෙත පවරාදී තිබේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-10-22

අසන ලද්දේ

ගරු ධනුෂ්ක රංගනාත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      කළුතර දිස්ත්‍රික්කයේ කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනට මාර්ග 405ක් යෝජනා වී ඇති අතර ඉන් මාර්ග 06ක් අවලංගු වී මාර්ග 399ක් ඇතුළත් කර තිබී ඇත. එම මාර්ග ලැයිස්තුව ඇමුණුම 01හි දක්වා ඇත.

              (ii)      කළුතර දිස්ත්‍රික්කයේ කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනට ඇතුළත් කර ඇති මාර්ග අතරින්,

(1). සංවර්ධනය කර අවසන් මාර්ග සංඛ්‍යාව 201කි. මාර්ග ලැයිස්තුව ඇමුණුම 02හි දක්වා ඇත.

(2). එම වැඩසටහනට ඇතුළත් කර තිබූ නමුත් සංවර්ධනය කර අවසන් නොකළ මාර්ග සංඛ්‍යාව 198කි. මාර්ග ලැයිස්තුව ඇමුණුම 03හි දක්වා ඇත.

(iii) එම මාර්ග සංවර්ධනය සඳහා වැය කර ඇති පිරිවැය වෙන් වෙන් වශයෙන් ඇමුණුම් 02හි හා 03හි දක්වා ඇත.

(iv) එම මාර්ග සංවර්ධන කටයුතුවල ප්‍රගතිය ඇමුණුම 02හි හා 03හි වෙන් වෙන් වශයෙන් දක්වා ඇත.

(ආ) (i) මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් සංවර්ධන කටයුතු ආරම්භ කළ ද පහත හේතු මත මාර්ග 198ක වැඩ අවසන් කිරීමට නොහැකි විය.

(1). 2021-2022 වර්ෂ තුළ පැවති කොවිඩ් අර්බුදය හේතුවෙන් මෙම සංවර්ධන කටයුතු නතර වීම.

(2). අමුද්‍රව්‍ය සහ ඉන්ධන හිඟය.

(3). රට තුළ 2021-2022 වර්ෂ තුළ පැවති ආර්ථික අර්බුද තත්ත්වය මත මුදල් අමාත්‍යාංශයෙන් නිකුත් කළ "රාජ්‍ය වියදම් පාලනය කිරීම" මැයෙන් වූ ජාතික අයවැය චක්‍රලේඛ අංක 03/2022හි 03 ඡේදය අනුව ව්‍යාපෘති කටයුතු තාවකාලිකව නතර කිරීමට ලබා දී තිබූ උපදෙස් පරිදි මෙම සංවර්ධන වැඩසටහන් නතර කිරීම.

චක්‍රලේඛයෙහි පිටපතක් ඇමුණුම 04 වශයෙන් දක්වා ඇත.

ඇමුණුම් 01, 02, 03 සහ 04 සභාගත* කරමි.

(ii) තීරණය කර තිබේ.

(iii) කිලෝමීටර ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ වැඩ ආරම්භ කර ඇතත්, සංවර්ධන කටයුතු නිම කර නොමැති මාර්ග නැවත සංවර්ධනය සඳහා අවශ්‍ය මුදල් ප්‍රමාණය කොපමණදැයි තක්සේරු කරමින් පවතී.

ඉන් පසු මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය වෙත එම යෝජනාව යොමු කර අවශ්‍ය ප්‍රතිපාදන 2026 වර්ෂයේ සිට අමතර ප්‍රතිපාදන ලෙස වාර්ෂිකව කොටස් වශයෙන් ලබාගෙන ඉදිරියේදී මෙම මාර්ග සංවර්ධනය කිරීමට කටයුතු කරනු ලැබේ.

(iv) මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මෙම ව්‍යාපෘතිය යටතේ වැඩිදියුණු කරන ලද මාර්ගවල නඩත්තු කටයුතු මාර්ග සංවර්ධන අධිකාරිය මඟින් සිදු කරනු ලැබේ. අනෙකුත් මාර්ග නඩත්තු කිරීම එම මාර්ග අයත් පළාත් පාලන ආයතනය හෝ පළාත් සභාවට අයත් කාර්යයකි.

(v) මෙම වැඩසටහන සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත තාවකාලිකව පවරා ගන්නා ලද මාර්ග ආපසු භාර ගන්නා ලෙස අදාළ පළාත් සභා හා පළාත් පාලන ආයතන වෙත ලිඛිතව දැනුම් දී ඇති අතර, මේ වන විට ඉන් බොහොමයක් මාර්ග අදාළ ආයතන විසින් ලිඛිතව භාර ගෙන ඇත.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-10-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks