01

E   |     |  

 දිනය: 2025-08-20   පිළිතුර ලබා දී ඇත 

1120/2025: 1999දී බඳවා ගන්නා ලද උපාධිධාරී අභ්‍යාසලාභීන්: සේවයේ ස්ථිර කිරීම

1120/2025

ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       රජයේ ප්‍රමුඛතා කාර්යයන් ක්‍රියාත්මක කිරීමේ හැකියාවන් ප්‍රවර්ධනය කිරීම සඳහා 1999 දී බඳවාගන්නා ලද උපාධිධාරි අභ්‍යාසලාභීන් සංඛ්‍යාව කොපමණද;

(ii) ඔවුන්ගේ අභ්‍යාසලාභී පත්වීම් ස්ථිර කරන ලද දිනය කවරේද;

(iii) එම ස්ථිර කිරීම සඳහා උපදෙස්/චක්‍රලේඛය නිකුත් කරන ලද ආයතනය කවරේද;

(iv) එහිදී අනුගමනය කරන ලද ක්‍රියාමාර්ගය කවරේද;

(v) එම උපදෙස් ලිපියේ/චක්‍රලේඛයේ පිටපතක් ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) ඉහත උපාධිධාරින් අතරින් ස්ථිර කරන ලද සංඛ්‍යාව, එක් එක් රේඛීය අමාත්‍යාංශය, පළාත් සභා අමාත්‍යාංශය, දෙපාර්තමේන්තුව සහ ආයතනය අනුව සහ එක් එක් තනතුරු කාණ්ඩ අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එම එක් එක් තනතුරු කාණ්ඩ සඳහා අදාළ ආරම්භක වැටුප, වැටුප් පරිමාණය සහ වැටුප් කේත අංකය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ස්ථිර කිරීමෙන් පසුව ඉහත උපාධිධාරින් සඳහා සේවා ව්‍යවස්ථා/බඳවාගැනීමේ පටිපාටි සකස් කර තිබේද;

 (iv) එසේ නම්, ඒවා සකස් කරන ලද වර්ෂය කවරේද;

(v) ඒවායේ පිටපත් ඉදිරිපත් කරන්නේද;

  (vi) සේවා ව්‍යවස්ථා/බඳවාගැනීමේ පටිපාටි සකස් කර නොමැති නම්, ඊට හේතු කවරේද;

(vii) සේවා ව්‍යවස්ථා අනුව උසස් කිරීමේ ක්‍රමවේදය කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-08-20

අසන ලද්දේ

ගරු රවීන්ද්‍ර බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)     "    රජයේ ප්‍රමුඛතා කාර්යයන් ක්‍රියාත්මක කිරීමේ හැකියාවන් ප්‍රවර්ධනයට බඳවාගත් උපාධිධාරි අභ්‍යාසලාභීන් ස්ථිර තනතුරුවලට අනුයුක්ත කිරීම" යන මැයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශ ලේකම්ගේ අත්සනින් නිකුත් කරන ලද, බීඩීඒ/1/29/ඒ සහ 2000.07.25 දිනැති  ලිපියේ 02.01 උපලේඛනය පරිදි පුරප්පාඩු තනතුරුවලට අනුයුක්ත කිරීම් සඳහා උපාධිධාරින් 730ක් ද, නව තනතුරු ඇති කිරීම් තුළින් උපාධිධාරින් 9,596ක් ද වශයෙන් මුළු සංඛ්‍යාව ලෙස 10,326දෙනෙකු බඳවාගෙන ඇත.

(ii) " රජයේ ප්‍රමුඛතා කාර්යයන් ක්‍රියාත්මක කිරීමේ හැකියාවන් ප්‍රවර්ධනයට බඳවාගත් උපාධිධාරි අභ්‍යාසලාභීන් ස්ථිර තනතුරුවලට අනුයුක්ත කිරීම" යන මැයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශ ලේකම්ගේ අත්සනින් නිකුත් කරන ලද, බීඩීඒ/1/29/ඒ සහ 2000.07.25 දිනැති ලිපියේ 03.02 ජේදයේ සඳහන් පරිදි මෙම වැඩසටහන සඳහා ‍උපාධිධාරින් අවස්ථා තුනකදී තෝරාගෙන ඇති අතර, මෙම තෝරාගත් දිනය අනුව ස්ථිර තනතුරුවලට පත් කිරීමේ දිනය පහත පරිදි වේ.

පුහුණුවට කැඳවූ දිනය      පත්වීම් දිනය

1999.05.17 2000.05.16

1999.10.01 2000.10.02

1999.11.08 2000.11.08

 

(iii) මෙම ස්ථිර කිරීම සඳහා උපදෙස් ලිපිය මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය වෙතින් 2000.07.25 දිනෙන් නිකුත් කර ඇත.

(iv) උක්ත උපදෙස් ලිපියේ ජේද අංක 03 මඟින් මේ සම්බන්ධව උපදෙස් ලබා දී ඇත.

(v) එම ලිපියේ පිටපතක් ඇමුණුම 01** වශයෙන් ඉදිරිපත් කර ඇත.

(ආ) (i) එම තොරතුරු මෙම පත්වීම්ලාභීන් අනුයුක්ත කරන ලද අදාළ ආයතනයන්ගෙන් ලබාගත යුතුය.

(ii) "රජයේ ප්‍රමුඛතා කාර්යයන් ක්‍රියාත්මක කිරීමේ හැකියාවන් ප්‍රවර්ධනයට බඳවාගත් උපාධිධාරි අභ්‍යාසලාභීන් ස්ථිර තනතුරුවලට අනුයුක්ත කිරීම" යන මැයෙන් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශ ලේකම්ගේ අත්සනින් නිකුත් කරන ලද, බීඩීඒ/1/29/ඒ සහ 2000.07.25 දිනැති ලිපියේ  (ඇමුණුම 01) 04 වන ජේදයෙහි මේ පිළිබඳව සඳහන් වේ.

(iii) ඔව්. බඳවා ගැනීමේ පටිපාටි සකස් කර ඇත.

(iv) සංවර්ධන නිලධාරි සේවයට අන්තර්ග්‍රහණය වීමට කැමැත්ත පළ කරන ලද නිලධාරින් සඳහා දැනට ක්‍රියාත්මක වන සංවර්ධන නිලධාරි සේවා ව්‍යවස්ථාව යටතේ උසස් වීමේ ක්‍රමවේදය අදාළ වන අතර, එම සේවයට අන්තර්ග්‍රහණය වීමට මනාපය පළ නොකළ නිලධාරින් සඳහා ඔවුන් අනුයුක්ත කරන ලද දෙපාර්තමේන්තු හා ඒ ඒ ආයතන වෙතින් උසස් කිරීමේ පටිපාටි සකස් කෙරෙමින් පවතින අතර දැනට සකසා අවසන්ව ඇති එවැනි උසස් කිරීමේ  පටිපාටි 02ක් නිදසුන් ලෙස ඇමුණුම 02** හා 03** යටතේ දක්වා ඇත.

(v) සේවා ව්‍යවස්ථා/බඳවාගැනීමේ පටිපාටි මෙම පත්වීම්ලාභීන් අනුයුක්ත කරන ලද අදාළ එක් එක් ආයතනයන්ගෙන් ලබා ගත යුතුය.

(vi) අදාළ නොවේ

(vii) ඉහත iv හි පිළිතුර අදාළ වේ.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2025-10-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) අනිල් ජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks