01

E   |     |  

 දිනය: 2025-10-07   පිළිතුර ලබා දී ඇත 

1114/2025: ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අයත් ඉඩම්: ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

1114/2025

ගරු රොෂාන් අක්මීමන මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට අයත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඇති ඉඩම් ප්‍රමාණය කොපමණද;

             (ii)       එම ඉඩම් සම්බන්ධයෙන් ඉදිරි සැලසුම් කවරේද;

   (iii)   එම අධිකාරියට අයත් ඉඩමක් Sweet Bay ප්‍රදේශයේ තිබේද;

   (iv)  එම ඉඩමේ  විශාලත්වය කොපමණද;

  (v)  එම ඉඩමේ අනවසරයෙන් වැටක් ඉදිකර බලහත්කාරයෙන් රැඳී සිටින සමාගම කවරේද;

  (vi)  එම ඉඩම සම්බන්ධයෙන් ඉහත සමාගමට අයිතියක් තිබේද;

  (vii)  නො‍එසේ නම්, එම සමාගමට එරෙහිව ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-10-07

අසන ලද්දේ

ගරු රොෂාන් අක්මීමන මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      කුච්චවේලි     අක්කර 510

                        රසුල්තෝට්ටම් නිලාවේලි     අක්කර 60

                        මිඩ්වේ ස්ටේට්    අක්කර 40

                        ඇලස්වත්ත    අක්කර 10

                        ස්විට් බේ       අක්කර 12 රූඩ්          03 පර්චස් 05

                        එකතුව          අක්කර 632                   රූඩ් 03 පර්චස් 05

(ii) සමස්තයක් ලෙස මෙම ඉඩම්වලට අනවසර පදිංචිකරුවන්ගේ තර්ජන බොහෝ ඇති අතර, දැනට ඔවුන් එම ඉඩම්වලින් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටියි. ඒ අතර අනවසර පදිංචිකරුවන්ගේ ගැටලු නොමැති ඉඩම් යම් තේමාවක් යටතේ සංචාරක නිකේතන ලෙස සංවර්ධනය කිරීමට අවශ්‍ය සුදුසු සැලසුම් සකස් කර ඇත.

අක්කර 510කින් සමන්විත කුච්චවේලි ඉඩම් ප්‍රදේශය වෙනුවෙන් සකස් කර ඇති ප්‍රධාන සැලැස්මට අනුව, අක්කර 137ක භූමි ප්‍රමාණයක් අලි ඇතුන්ගේ ගමන් මාර්ග සඳහා සහ අක්කර 138ක භූමි ප්‍රමාණයක් පරිපාලන ගොඩනැඟිලි, පොදු ප්‍රදේශ, ජනතාව සඳහා වෙරළ තීර සහ අභ්‍යන්තර මාර්ග සඳහා වෙන් කර ඇත. දැනට අක්කර 79ක භූමි ප්‍රමාණයක් ආයෝජකයන්ට බදු පදනමින් ලබා දී ඇති අතර, ඔවුන්ගෙන් සමහරෙකු දැනටමත් එම ව්‍යාපෘතිවල කටයුතු කරමින් සිටින අතර, අනෙක් ආයෝජකයන් අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලිය තුළ ඇත.

තවත් අක්කර 82ක් බදු දීමට අනුමත කිරීම සඳහා සලකා බැලීමේ ක්‍රියාවලියේ පවතී. ඉතිරි අක්කර 74, රසුල්තෝට්ටම් සහ ඇලස්වත්ත ඉඩම් එළිපෙහෙළි කළ ප්‍රදේශ සමඟ ඉදිරියට ආයෝජනය කිරීමට කැමැති පුද්ගලයන් සඳහා දැන්වීම් මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ සඳහා කැමැත්තක් දක්වන අයට ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කිරීමට - EoIs- 2025 ඔක්තෝබර් 13 දක්වා කාලය දීර්ඝ කොට ආයෝජකයන්ට විවෘත කොට ඇත. මෙම ප්‍රදේශයේ ආයෝජකයන් මුහුණ දෙන ප්‍රධාන අභියෝග වන්නේ අනවසර ආක්‍රමණිකයන් සහ එම පළාතට ජල සැපයුම් පහසුකම් නොමැතිකමයි.

(iii) ඔව්.

(iv) අක්කර 12 රූඩ් 03 පර්චස් 05

 (v) රෙඩ් රොක් බීච් / ඩිල්මා සමාගම

(vi) නැත

(vii) එම සමාගමට ඉඩමෙන් ඉවත් වන ලෙස ප්‍රාදේශීය ලේකම්තුමා දැනුම් දී තිබූ අතර, එම දැන්වීම ක්‍රියාත්මක නොකිරීමට එම සමාගම උසාවි නියෝගයක් ඉල්ලා රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇත. එම නඩුව 2025 ඔක්තෝබර් 03වන දින නැවත කැඳවන ලදී.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-10-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) රුවන් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks