01

E   |     |  

 දිනය: 2025-08-22   පිළිතුර ලබා දී ඇත 

1084/2025: තච්චන්කුලම්-මූන්රුමුරිප්පු ප්‍රධාන මාර්ගය: මහජනතාව සඳහා විවෘත කිරීම

1084/2025

ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා,— ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් වවුනියාවේ, තච්චංකුලම් ගුවන් තොටුපළ පුළුල් කිරීම සඳහා ඒ අවට පෞද්ගලික ඉඩම් අත්පත් කර ගන්නා ලද අතර එහිදී දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රදේශයේ මහජනතාව විසින් භාවිතා කරන ලද මාර්ග භාවිතා කිරීමද තහනම් කර තිබෙන බවත්;

(ii) විශේෂයෙන්ම තච්චංකුලම්-මූන්රුමුරිප්පු ප්‍රධාන මාර්ගය භාවිතා කිරීම දීර්ඝ කාලයක් තිස්සේ මහජනතාවට තහනම් කර තිබෙන බවත්;

(iii) ඒ හේතුවෙන් තච්චංකුලම් ගම්මානයේ ජීවත්වන ජනතාවට තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා ග්‍රාම නිලධාරි කාර්යාලයට යාමට කිලෝ මීටර් දෙකක් වෙනුවට කිලෝ මීටර් දොළහක් ගමන් කිරීමට සිදුවී ඇති බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) එසේ නම්, ඉහත සඳහන් තච්චංකුලම්-මූන්රුමුරිප්පු ප්‍රධාන මාර්ගය  මහජනතාවගේ භාවිතය උදෙසා විවෘත කිරීමට පියවර ගන්නේද;

  (ii) ඒ සඳහා ගත වන කාලය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-08-22

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      වවුනියාව ගුවන් තොටුපොළ පුළුල් කිරීම වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත පවරා දී ඇති තච්චන්කුලම්, වවුනියාව, රම්බෙකුළම, කෝවිල්කුළම ගම්මානවලට අයත් පුද්ගලයන් 167කට අයත් අක්කර 446.68ක පමණ භූමිය වවුනියාව ප්‍රාදේශීය ලේකම් විසින් අදියර 3ක් යටතේ අත්පත් කර ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව ප්‍රදේශවාසීන්ට එම මාර්ගය භාවිත කිරීම සම්බන්ධව අවහිරතා ඇති වී ඇති බව නිරීක්ෂණය කර තිබෙනවා.

තවද, තච්චන්කුලම්-මූන්රුමුරිප්පු මාර්ගය මූන්රුමුරිප්පු මංසන්ධියේ සිට - යුද හමුදා වන්නි බල සේනා මූලස්ථානයේ පිවිසුම් දොරටුවේ සිට - මීටර් 550ක දුරක් වවුනියාව ගුවන් හමුදා කඳවුර සහ යුද හමුදා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය - ඉහත සඳහන් ඉඩම් පවරාගත් මුල් කාලයේ - වර්ෂ කිහිපයක් පොදුවේ භාවිත කර ඇති අතර, 2012 මැයි මස 04වන දිනෙන් පසුව ගුවන් හමුදා ප්‍රධාන පිවිසුම් මාර්ගය A-9 මාර්ගය දෙසින් විවෘත වීමත් සමඟ විෂයගත මාර්ගය ගුවන් හමුදා භාවිතයෙන් සම්පූර්ණයෙන් ඉවත් කර ඇත.

ඒ අනුව, එතැන් පටන් මේ දක්වා වසර 13ක කාලයක් මෙම මාර්ගය යුද හමුදා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පමණක් පූර්ණකාලීනව භාවිත කරනු ලබයි.

(ii) (අ) (i) කොටසෙහි සඳහන් පිළිතුරම අදාළ වේ.

(iii) විෂයගත මාර්ගය හරහා තච්චන්කුලම් ප්‍රදේශවාසීන්ට සිය ග්‍රාමයේ සිට මූන්රුමුරිප්පු ප්‍රදේශයේ, එනම් A-9 මාර්ගය ආසන්නයේ පිහිටා ඇති තම ග්‍රාම නිලධාරි කාර්යාලය වෙත පැමිණීමට කිලෝමීටර 1.4ක පමණ දුරක් පැවතියද, එම මාර්ගය අවහිරවීම හේතුවෙන්, වර්තමානයේ තච්චන්කුලම් ගම්වාසීන් විසින් පහත සඳහන් පරිදි විකල්ප මාර්ග 03ක් භාවිත කරනු ලබයි.

සිවිල් ජනතාව භාවිත කරනු ලබන මාර්ගය 01 -

තච්චන්කුලම් සිට සමළන්කුලම් හරහා මූන්රුමුරිප්පු ග්‍රාම නිලධාරි කාර්යාලයට ගමන් කරන මාර්ගය.

තච්චන්කුලම් 8වන පටුමගේ සිට නැ‍ඟෙනහිර දිශාවට මීටර 900ක් පමණ ගමන් කර උමා මහේෂ්වරන් මාර්ගයෙන් දකුණු දිශාවට කිලෝමීටර 2.1ක් ගමන් කර සමළන්කුලම මාර්ගයට පිවිස ඒ හරහා බටහිර දිශාවට කිලෝමීටර 3ක් ගමන් කර නෝර්ත්වේ හෝටලය - Northway Hotel - අසලින් A-9 මාර්ගයට පිවිස මූන්රුමුරිප්පු ග්‍රාම නිලධාරි කාර්යාලයට ළඟාවීම සඳහා භාවිත කරනු ලබන අතුරු මාර්ගය. මෙම මාර්ගයෙහි සමස්ත දුර කිලෝමීටර 06ක් වන අතර සියලුම වර්ගයේ වාහන ගමනාගමනයට සුදුසු මට්ටමකින් ගමන් කිරීමට ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරමින් පවතී.

සිවිල් ජනතාව භාවිත කරනු ලබන මාර්ගය 02 -

තච්චන්කුලම් සිට වවුනියාව නගරය හරහා මූන්රුමුරිප්පු ග්‍රාම නිලධාරි කාර්යාලයට ගමන් කරන මාර්ගය.

තච්චන්කුලම් 8වන පටුමගේ සිට නැ‍ඟෙනහිර දිශාවට මීටර් 900ක් ගමන් කර උමා මහේෂ්වරන් මාර්ගයට පිවිස උතුරු දිශාවට කිලෝමීටර 2ක් ගමන් කර A-9 වවුනියාව - හොරොව්පොතාන මාර්ගයට පැමිණ නැවත බටහිර දෙසට කිලෝමීටර 2ක් ගමන් කර වවුනියාව නගරය හරහා කිලෝමීටර 3.1ක දුරක් A-9 මාර්ගය ඔස්සේ දකුණු දිශාවට පිවිසීමෙන් මූන්රුමුරිප්පු ග්‍රාම නිලධාරි කාර්යාලයට ළඟා වීම සඳහා භාවිත කරනු ලබන මාර්ගය වේ. මෙම මාර්ගයේ සමස්ත දුර කිලෝමීටර 8ක් වේ.

ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්නයේ සඳහන් කර තිබෙන්නේ කිලෝමීටර 12ක් කියලා. නමුත්, එය කිලෝමීටර 12ක් නොවෙයි, කිලෝමීටර 8යි.

සිවිල් ජනතාව භාවිත කරනු ලබන මාර්ගය 03 -

තච්චන්කුලම් සිට මූන්රුමුරිප්පු ග්‍රාම නිලධාරි කාර්යාලයට පැමිණීමට ඇති අතුරු මාර්ගය.

යුද හමුදා මාර්ග බාධකයේ සිට මීටර් 50ක් පමණ නැ‍ඟෙනහිර දෙසට ගමන් කර නැවත දකුණු දිශාවට ප්‍රසිද්ධ නොවන පටු මාර්ගය ඔස්සේ තච්චන්කුලම් වැව් බැම්ම මතින් කිලෝමීටර 1.5ක් පමණ දකුණු දිශාවට පිවිස සමළන්කුලම මාර්ගය ඔස්සේ නෝර්ත්වේ හෝටලය - Northway Hotel - අසලින් A-9 මාර්ගයට පිවිස මූන්රුමුරිප්පු ග්‍රාම නිලධාරි කාර්යාලයට ළඟා වීම සඳහා භාවිත කරනු ලබන අතුරු මාර්ගය. මෙම මාර්ගයේ සමස්ත දුර කිලෝමීටර 2ක් වන අතර යතුරුපැදි හා පාපැදි ගමන් කිරීමට හැකි මට්ටමේ පවතී.

(ආ) (i) තච්චන්කුලම් - මූන්රුමුරිප්පු මාර්ගය මහජනතාවගේ භාවිතය උදෙසා විවෘත කිරීමට පියවර ගන්නේද යන්න දැනට පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව විමසා බලා තීරණය කළ යුතු කරුණක් වන අතර, දැනට පවතින තත්ත්වය තුළ ගුවන් හමුදා කඳවුරේ සහ ආරක්ෂක සේවා මූලස්ථානයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා එලෙස මහජනයාට විවෘත කිරීමට හැකියාවක් නොමැති බවයි අපේ විශ්ලේෂණවලින් සඳහන් වෙන්නේ.

(ii) අදාළ නොවේ.

(ඇ) මෙම මාර්ගය මහ ජනතාවට විවෘත කිරීම මෙම අවස්ථාවේදී ගැටලු සහගත විය හැකි බැවින් ප්‍රදේශවාසීන්ගේ මුඛ්‍ය අවශ්‍යතා ඉටු කිරීමේ හැකියාව සහ ඔවුනට වඩාත් අවහිරයක් ඇති නොවන පරිදි මෙන්ම පවතින ආරක්ෂක විධිවිධාන එලෙසම පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවද අපි සලකා බැලුවා. ඒ අනුව පහත දැක්වෙන විකල්ප මාර්ග පුළුල්කොට සංවර්ධනය කර ලබා දීම සුදුසු බව අපි යෝජනා කරනවා.

විකල්ප මාර්ග 01 - තච්චන්කුලම් යුද හමුදා බ්‍රා‍වෝ දොරටුව - Bravo Gate - සමීපයේ ඇති මාර්ග බාධකයේ සිට ආරක්ෂක සේනා මූලස්ථානයේ ගිනිකොන දෙසින් පිහිටි ආරක්ෂක වැට අසලින් නව මාර්ගයක් ඉදිකර එය සමළන්කුලම් A-9 මාර්ගයට සම්බන්ධ කිරීම. මෙම මාර්ගයේ සමස්ත දුර කිලෝමීටර 1.8ක් වන අතර, ප්‍රශ්නගත මාර්ගය හා සැසඳීමේදී මීටර් 400ක පමණ දුර ප්‍රමාණයක් වැඩිපුර ගමන් කිරීමට ප්‍රදේශවාසීන්ට සිදු වේ. මෙය කිලෝමීටර 8ක දුරක් යෑම හා සසඳා බැලීමේදී වඩාත් ප්‍රායෝගික විකල්පයක් වේ.

විකල්ප මාර්ග 02 - තච්චන්කුලම් ග්‍රාමයේ ඇති යුද හමුදා මාර්ග බාධකයේ සිට මීටර් 50ක් පමණ නැ‍ඟෙනහිර දෙසට ගමන් කර නැවත දකුණු දිශාවට ප්‍රසිද්ධ නොවන පටු මාර්ගය ඔස්සේ තච්චංකුලම් වැව් බැම්ම මතින් කිලෝමීටර 1.5ක් පමණ දකුණු දිශාවට පිවිස සමළන්කුලම මාර්ගය ඔස්සේ නෝර්ත්වේ හෝටලය අසලින් A-9 මාර්ගයට පිවිසීමට භාවිත කරනු ලබන අතුරු මාර්ගය. මෙම මාර්ගය වර්තමානය වනවිට යතුරු පැදි හා පාපැදි ගමන් කිරීමට හැකි තත්ත්වයේ පවතින අතර, එය අනෙකුත් වාහන ගමන් කළ හැකි තත්ත්වයට පුළුල්කොට සංවර්ධනය කර ප්‍රදේශවාසීන්ගේ භාවිතයට ලබා දීම. මෙම මාර්ගයේ සමස්ත දුර කිලෝමීටර 2.3ක් වන අතර, ප්‍රශ්නගත මාර්ගය හා සැසඳීමේදී මීටර් 900ක පමණ දුර ප්‍රමාණයක් වැඩිපුර ගමන් කිරීමට ප්‍රදේශවාසීන්ට සිදු වේ. මෙය කිලෝමීටර 8ක දුරක් යෑම හා සසඳා බැලීමේදී තවත් ප්‍රායෝගික විකල්පයක් වේ.

ගරු මන්ත්‍රීතුමනි, අපි ඉදිරියේදී මේ කාරණය ආරක්ෂක කවුන්සලයට ඉදිරිපත් කරලා මේ තත්ත්වය නැවතත් සලකා බැලීමට කටයුතු කරනවා.

 

 

පිළිතුරු දුන් දිනය

2025-10-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මේජර් ‍ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks