01

E   |     |  

 දිනය: 2025-08-22   පිළිතුර ලබා දී ඇත 

1024/2025: ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය: අවම කිරීම

1024/2025

ගරු සුනිල් රත්නසිරි මහතා,— කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      ශ්‍රී ලංකාවේ ඇති ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්තශාලා සංඛ්‍යාව කොපමණද;‍

             (ii)      ශ්‍රී ලංකාවේ වාර්ෂිකව නිෂ්පාදනය කරනු ලබන ප්ලාස්ටික් හා පොලිතින් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;

  (iii)    ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය අවම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

  (iv)  ප්ලාස්ටික් යොදා නිෂ්පාදනය කරනු ලබන කුඩා දරුවන්ගේ ආහාර අසුරණවල ප්‍රමිතිය සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබේද;

  ‍යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-08-22

අසන ලද්දේ

ගරු සුනිල් රත්නසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)      (i)     1.      1990 අංක 46 දරන කර්මාන්ත ප්‍රවර්ධන පනතේ විධිවිධාන ප්‍රකාරව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ දැනට ලියාපදිංචි වී ඇති පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්තශාලා සංඛ්‍යාව 158ක් වේ.

2.      මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබා ගත් තොරතුරු අනුව පරිසර අධිකාරිය විසින් පරිසර ආරක්ෂණ බලපත්‍ර නිකුත් කර ඇති පොලිමර් බේස් නිෂ්පාදන කර්මාන්ත දත්තවලට අනුව, 2025 ජූනි මස 30වන දිනට පොලිමර් පාදක කරගත් ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්තශාලා - BoI කර්මාන්තශාලා හැර- සංඛ්‍යාව 780කි.

(ii) ශ්‍රී ලංකාවේ වාර්ෂිකව නිෂ්පාදනය කරනු ලබන පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රමාණ වෙන් වෙන් වශයෙන් ගණනය කිරීමක් දැනට සිදු කර නැහැ.

මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය JICA ව්‍යාපෘතියේ මූල්‍ය හා තාක්ෂණික සහාය ඇතිව ලංකාවට ආනයනය කරනු ලබන ප්ලාස්ටික් ප්‍රමාණයන්, කර්මාන්ත හරහා පරිසරයට නිකුත් කරන ප්ලාස්ටික් ප්‍රමාණයන් සහ ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියට යොමු කරන ප්‍රමාණයන් පිළිබඳව දත්ත පද්ධතියක් සකස් කිරීමට කටයුතු කරමින් පවතිනවා. එය 2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇත.

(iii) ප්ලාස්ටික් හා පොලිතීන් භාවිතය අවම කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් බොහොමයක් ක්‍රියාමාර්ග ගෙන ඇත.

 

අ.අ

ගැසට් අංකය

උද්ධෘත

1.

2034/34

23 ද. වගන්තිය යටතේ වැඩි ඝනත්වයෙන් යුත් පොලිඑතිලීන්, අඩු ඝනත්වයෙන් යුත් පොලිඑතිලීන් සහ පොලිප්‍රොපිලීන්ද ඇතුළත් පොලිතීන් අමුද්‍රව්‍යයක් ලෙස යෙදූ ආහාර දවටන - lunch sheets - දේශීය භාවිතය සඳහා නිෂ්පාදනය කිරීම, විකිණීම, අර්පණය, ප්‍රදර්ශනය, නොමිලේ ලබා දීම හෝ භාවිත කිරීම තහනම් කරමින් පනවා ඇති නියෝගය.

2.

2034/35

23 ද. වගන්තිය යටතේ 900x600x260 මි.මී. හෝ ඊට ඉහළ පරිමාණයේ රෙදිපිළි බහලුම් මලු හැර දේශීය භාවිතය සඳහා වැඩි ඝනත්වයෙන් යුතු පොලිඑතිලීන් අමුද්‍රව්‍යයක් වන මලු නිෂ්පාදනය, විකිණීම, විකිණීම සඳහා අර්පණය, ප්‍රදර්ශනය, නොමිලේ ලබා දීම හෝ භාවිත කිරීම තහනම් කරමින් පනවා ඇති නියෝගය.

3.

2034/38

23 ද. වගන්තිය යටතේ දේශීය භාවිතය සඳහා ප්‍රසාරිත පොලිස්ටයරීන්වලින් ආහාර ඇසුරුම් පෙට්ටි - lunch boxes - පිඟන්, කෝප්ප හා හැඳි නිෂ්පාදනය, විකිණීම, විකිණීම සඳහා අර්පණය, නොමිලේ ලබා දීම, ප්‍රදර්ශනය හෝ භාවිතය තහනම් කිරීමේ නියෝගය.

4.

2211/51

23 ද.(1) (අ) වගන්තිය යටතේ යම් ක්‍රියාවලියක්/කර්මාන්තයක් හෝ වෙළෙඳාමක් සඳහා පහත ද්‍රව්‍ය නිෂ්පාදනය හා වෙළෙඳාම් කිරීම 2021.01.21 දින සිට තහනම් කිරීමේ නියෝගය  - කෘෂි රසායන ද්‍රව්‍ය ඇසුරුම් ලෙස පොලිඑතිලීන් ටෙරප්තලේට් - PET - හා පොලිවයිනයිල් ක්ලෝරයිඩ් - PVC - පාවිච්චි කිරීම, ආහාර සහ ඖෂධ ඇසුරුම් කිරීම.  - ශුද්ධ පරිමාව මි.ලී. 20ට/ශුද්ධ බර ග්‍රෑම් 20ට සමාන හෝ ඊට අඩු ප්ලාස්ටික් සැෂේ - sachet - ඇසුරුම් ලෙස පාවිච්චි කිරීම.  - ප්ලාස්ටික් බැලූන්, බෝල, දිය මත පා වෙන ජල ක්‍රීඩා සෙල්ලම් බඩු/උපකරණ හැර  - සුළංවලින් පිරවිය හැකි ප්ලාස්ටික් සෙල්ලම් බඩු නිෂ්පාදනය හා වෙළෙඳාම.  - වෛද්‍ය/සායනික ප්‍රතිකාර සඳහා භාවිත කරන ප්ලාස්ටික් කොට්න් බඩ්ස් හැර ප්ලාස්ටික් කූර - stem - සහිත කොට්න් බඩ්ස්

5.

2341/30

පහතින් දක්වා ඇති ප්ලාස්ටික් අයිතම භාවිත කිරීම සහ රට තුළ භාවිතය සඳහා වන යම් ක්‍රියාවලියක්, වෙළෙඳාමක් හෝ කර්මාන්තයක් සඳහා එකී අයිතම භාවිත කිරීම තහනම් කිරීමේ නියෝගය  - තනි භාවිත බීම බට සහ කලතන - single-use plastic -.  - ගුවන් ගමන්වලදී හැර තනි භාවිත ආහාර බහලුම්, පිඟන්, කෝප්ප, හැඳි, පිහි හා ගෑරුප්පු.  - මල් මාලා.  - ඉඳිආප්ප වට්ටි.

6.

2353/55

- ජලය ගබඩා කිරීමේ කාර්යය සඳහා භාවිත කිරීම පිණිස වර්ණ ගැන්වූ පොලිඑතලීන් ටෙරප්තලේට් - PET - යොදා බෝතල් නිෂ්පාදනය කිරීම.  - බෝතල් ලේබල් කිරීම සඳහා පොලිවයිනයිල් ක්ලෝරයිඩ් - PVC - භාවිතය  - බෝතල් සඳහා අමතර මුද්‍රාවක් (මූඩි ආවරණයක්) වශයෙන් පොලිතීන් හෝ වෙනත් යම් දිරාපත් නොවන ද්‍රව්‍යයක් භාවිත කිරීම.

(iv) මේක දැනට ඇත්තටම අපේ රටේ පවතින බරපතළ ගැටලුවක්. විශේෂයෙන්ම දේශීය කර්මාන්තවල නිෂ්පාදනය කරන ඒවාට වඩා ගුණාත්මකභාවයෙන් අඩු ආනයනික ප්ලාස්ටික් වෙළෙඳ පොළේ තිබෙනවා. ඒ අනුව, දේශීයව නිෂ්පාදනය කරන ඒවා නියාමනය කරන්න පුළුවන් වුණාට ආනයනික ඒවා සම්බන්ධයෙන් තමයි ගොඩක් ගැටලු මතු වෙලා තිබෙන්නේ.

  මේ ප්‍රශ්නයට පිළිතුර, ඔව් කියන එකයි. මේ සම්බන්ධව වෙළෙඳ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් කර්මාන්ත අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය හා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය වැනි රාජ්‍ය ආයතනවල සහභාගිත්වයෙන් ප්ලාස්ටික් යොදා නිෂ්පාදනය කරනු ලබන කුඩා දරුවන්ගේ වතුර බෝතල්, ආහාර අසුරන සහ ළදරු කිරි බෝතල්වල ප්‍රමිතිය පිළිබඳව සාකච්ඡා වාර කීපයක් පවත්වා ඒවායේ අඩංගු විය හැකි අන්තරායකර රසායනික ද්‍රව්‍ය පාලනය කිරීම සඳහා රෙගුලාසි සකස් කිරීමට තීරණය කර තිබෙනවා. එසේම මේ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් තොරතුරු විමසන ලද අතර, එම තොරතුරුවලට අනුව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කුඩා දරුවන්ගේ ප්ලාස්ටික් වතුර බෝතල්, කෑම පෙට්ටි සහ ළදරු කිරි‍ බෝතල්වල ගුණාත්මකභාවය කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, ප්ලාස්ටික් ඇසුරුම්වල අඩංගු විය හැකි බිස්ෆෙනෝල් ඒ - Bisphenol A, BPA - සහ තැලේට් - phthalates - වැනි අන්තරායදායක රසායනික ද්‍රව්‍ය පාලනය කිරීම කෙරෙහි ද අවධානය යොමු කර තිබෙනවා.

ඒ සඳහා රසායනාගාර පරීක්ෂණ අන්තර් ආයතනික සහයෝගීතාව සහ විශේෂඥ උපදේශන මඟින් ලබා ගත් තොරතුරු ඵලදායී නියාමන ක්‍රමවේදයන් සංවර්ධනය කිරීම සඳහා යොදා ගනිමින් කටයුතු කරන අතර අඛණ්ඩ සාම්පල පරීක්ෂා කිරීම ද සිදු කරනු ලබයි.

තවද, 1980 අංක 26 දරන ආහාර උපදේශක කමිටුව විමසා සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් සාදන ලද 2010 ආහාර (ඇසිරීමේ ද්‍රව්‍ය සහ අයිතම) නියෝග මඟින්, දැනට ශ්‍රී ලංකාව තුළ ආහාර ඇසුරුම් කිරීම සඳහා භාවිත කරනු ලබන සියලු ප්ලාස්ටික් හා වෙනත් ඇසුරුම් ද්‍රව්‍ය සියල්ල නියාමනය කෙරෙනවා. මේ සඳහා දැඩි අවධානයක් යොමු වෙලා තිබෙනවා, ගරු මන්ත්‍රීතුමනි.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-01-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු චතුරංග අබේසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks