බලන්න

02

E   |     |  

 දිනය: 2025-10-22   පිළිතුර ලබා දී ඇත 

1009/2025: මැර ප්‍රචණ්ඩත්වයේ වින්දිතයින් : ආධාර යෝජනා ක්‍රම

1009/2025

ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)    (i)            මැර කණ්ඩායම්වල ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට රජය විසින් මූල්‍ය වන්දි, වෛද්‍ය ආධාර හෝ පුනරුත්ථාපන වැඩසටහන් වැනි නිශ්චිත ස්වරූපයේ ආධාර හඳුන්වාදී හෝ හඳුන්වා දීමට අදහස් කර තිබේද;

         (ii) මැර කණ්ඩායම්වල ප්‍රචණ්ඩකාරී සිද්ධීන් ඇතිවූ දිස්ත්‍රික්ක හෝ පළාත් තුළ, එවැනි ආධාර යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමේ වත්මන් තත්ත්වය කවරේද;

         (iii) එවැනි වින්දිතයින්ට නිසි කලට සහයෝගය සහ දිගු කාලීන සහාය ලබා දීම සහතික කිරීම සඳහා, පළාත් සභා හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත කිසියම් චක්‍රලේඛ, මාර්ගෝපදේශ හෝ ප්‍රතිපත්ති රාමු නිකුත් කර තිබේද;

   යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-10-22

අසන ලද්දේ

ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2018 අංක 34 දරන හානිපූරණය සඳහා වන කාර්යාලය පනතේ අංක 27 පරිච්ඡේදය පරිදි වන්දි ඇතුළු හානිපූරණයන් ලබා දෙනු ලබන්නේ පහත සිද්ධීන් මඟින් පීඩාවට පත් තැනැත්තන් වෙතය.

I.     උතුරු නැ‍ඟෙනහිර පළාත්වල සිදු වූ සන්නද්ධ ගැටුම් අතරතුර එහි ප්‍රතිඵලයක් ‍වශයෙන් හෝ ඊට සම්බන්ධව හෝ එහි පසු විපාකයක් ලෙස හෝ

II. දේශපාලන නොසන්සුන්තාවක් හෝ සිවිල් කැලඹීම් හේතුවෙන් හෝ

III. ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ට, කණ්ඩායම්වලට හෝ ජන කොට්ඨාසවලට සිදු වූ හානිය දීර්ඝ සහ බරපතළ ස්වභාවයේ හානියක් වීම හේතුවෙන් හෝ

IV. බලහත්කාරයෙන් අතුරුදහන් වීමක් හේතුවෙන් ජීවිතය අහිමිවීම හෝ ඔවුන්ට හෝ ඔවුන්ගේ දේපළවලට හෝ හානිවීම හේතුවෙන් පීඩාවට පත් වූ තැනැත්තන් වෙත දැනට හානිපූරණය නීතිය අනුව එහෙම තමයි දෙන්නේ. ඔබතුමාගේ ප්‍රශ්නයේ තිබෙන වචනයක් තමයි අපට ගැටලුව මතු කරන්නේ. ඒ "මැර කණ්ඩායම්" කියන වචනය. "මැර කණ්ඩායම්" කියන වචනයට දෙන නිර්වචනය පිළිබඳ ගැටලුවක් තිබෙනවා.

"මැර කණ්ඩායම්" යනුවෙන් ඔබ සඳහන් කර ඇති කාණ්ඩය ඉහත පනත ප්‍රකාරව දේශපාලන නොසන්සුන්තාව හෝ සිවිල් කැලඹීම් වැනි ඉහත I, II, III හා IV සිද්ධීන් යටතට ගැනෙන්නේ නම් එවැනි ගැටුම්වලින් පීඩාවන්ට හෝ ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවන්ට 2022 මාර්තු 03 දින රජයේ අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් ප්‍රකාශිත හානිපූරණ ප්‍රතිපත්ති හා මාර්ගෝපදේශයන් ප්‍රකාරව නිශ්චිත හානිපූරණයන් හඳුන්වා දී ඇති අතර එම හානිපූරණයන්, එනම්  මූල්‍යමය සහන, ජීවනෝපාය ආධාර ලබාදීම, ම‍නෝසමාජයීය ආධාර වැනි සහන ලබාදීම දැනටමත් සිදුකරනු ලබයි.

(ii) ඉහත සඳහන් සිද්ධීන්ගෙන් විපතට පත් වූවන්ට හානිපූරණය සඳහා වන කාර්යාලය මඟින් වන්දි යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරනු ලබන අතර, දිස්ත්‍රික්ක හෝ පළාත් වශයෙන් විශේෂකොට සලකා ක්‍රියාත්මක නොකරන බව දන්වමි.

(iii) ඔව්.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2026-01-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks