01

E   |     |  

 දිනය: 2025-08-20   පිළිතුර ලබා දී ඇත 

0958/2025: පුත්තලම දිස්ත්‍රික්කයේ, පල්ලකන්දල් දේවස්ථානය: ආගමික කටයුතු පවත්වාගෙන යෑම

958/2025

ගරු අජිත් ගිහාන් මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       පුත්තලම දිස්ත්‍රික්කයේ, පල්ලකන්දල් දේවස්ථානයේ ආගමික කටයුතු පවත්වාගෙන යාමට, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් බාධා කරන බව දන්නේද;

(ii) එසේ නම්, ඊට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-08-20

අසන ලද්දේ

ගරු අජිත් ගිහාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)            (i)      ආගමික කටයුතු පවත්වාගෙන යාමට බාධා පමුණුවන්නේ නැත.

               (ii)       •     පල්ලකන්දල් දේවස්ථානය සහ දේවස්ථානයේ ප්‍රවේශ මාර්ගය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන විල්පත්තු ජාතික උද්‍යානය තුළ පිහිටා ඇත. එබැවින්, මෙම දේවස්ථානයට පිවිසීම හා වන්දනාමන කිරීමේ කාර්යයන් සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඍජු මැදිහත්වීමක් නොමැත. මෙම දේවස්ථානය පිහිටි භූමිය විල්පත්තු ජාතික උද්‍යානය තුළ පිහිටිය ද, දේවස්ථානයේ ආගමික කටයුතු සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු ආකාරයක කොන්දේසි පැනවීමක් හෝ බාධා කිරීමක් සිදු කර නොමැති අතර දෙපාර්තමේන්තු නිලධාරින් පවත්නා නීති රාමුවෙන් බැහැරව කටයුතු කිරීම සම්බන්ධව පැමිණිලි ලැබී නොමැත.

• තවද, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරන ලද ජාතික උද්‍යාන තුළට ඇතුළුවීමට නෛතික ප්‍රතිපාදන පවතින්නේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද අවසර පත්‍රයක් ලබා ගෙන හෝ වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනතේ 3(3)අ වගන්තිය ප්‍රකාරව සාම්ප්‍රදායික පරිචය අනුව අත්කරගෙන ඇති අයිතිවාසිකම් යටතට ගැනෙන කටයුත්තක් සඳහා පමණි.

• වනාතවිල්ලුව ශාන්ත ජූඩ් දේවස්ථානයේ පාලනාධිකාරිය විසින් සෑම මසකම පළමු අඟහරුවාදා දින දේවස්ථානයේ සිදු කරන පූජාව පැවැත්වීම සඳහා අවස්ථාව සලසා දෙන මෙන් ඉල්ලීම් කර ඇති අතර උක්ත පූජාව සාම්ප්‍රදායික කටයුත්තක් බව සනාථ කර ගැනීමට තරම් ප්‍රමාණවත් තොරතුරු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව නොමැති බැවින් එවැනි තොරතුරු දේවස්ථානය සතුව පවතින්නේ නම් කඩිනමින් අමාත්‍යාංශය වෙත  යොමු කරන මෙන් වනාතවිල්ලුව ශාන්ත ජූඩ් දේවස්ථානයෙන් ඉල්ලා සිටි නමුත් මේ වනතෙක් සෑම මසකම පළමු අඟහරුවාදා දින දේවස්ථානයේ සිදු කරන පූජාව සාම්ප්‍රදායික කටයුත්තක් බව සනාථ කිරීමට ප්‍රමාණවත්  තොරතුරක්  මෙම අමාත්‍යාංශය වෙත යොමු කර නොමැත. එබැවින් ශාන්ත ජූඩ් දේවස්ථානයේ පාලනාධිකාරිය විසින් සෑම මසකම පළමු අඟහරුවාදා දින දේවස්ථානයේ සිදු කරන පූජාව සාම්ප්‍රදායික කටයුත්තක් බව පිළිගත හැකිදැයි සනාථ කර ගැනීමට මෙම කරුණ නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇත.

• පල්ලකන්දල් දේවස්ථානයේ ආගමික කටයුතු පවත්වාගෙන යාමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කිසිදු බාධාවක් සිදු නොකරන අතර මෙම දේවස්ථානය ජාතික උද්‍යානයක් තුළ පිහිටා ඇති බැවින් දේවස්ථානය වෙත පැමිණෙන බැතිමතුන් හා දේවස්ථානයේ පාලනාධිකාරිය විසින් වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනතේ විධිවිධාන උල්ලංඝනය කරන අවස්ථාවලදී පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමට නිලධාරින් කටයුතු කර ඇත. තවද, ජාතික උද්‍යානය තුළ අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් ද මෙම දෙපාර්තමේන්තුව විසින් නීතිය ක්‍රියාත්මක කර ඇති නමුත් එය පල්ලකන්දල් දේවස්ථානයේ ආගමික කටයුතු පවත්වාගෙන යාමට බාධා කිරීමක් නොවන බවද ප්‍රකාශ කරමි.

ඔව්.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-10-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඇන්ටන් ජයකොඩි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks