01

E   |     |  

 දිනය: 2025-10-22   පිළිතුර ලබා දී ඇත 

0850/2025: පවුල් සෞඛ්‍ය සේවිකා තනතුර: පුරප්පාඩු

850/2025

ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

 (අ)        (i)       ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් පවුල් සෞඛ්‍ය සේවිකාවන් විශාල සේවයක් සිදු කරන බව පිළිගන්නේද;

              (ii)       මේ වනවිට පවුල් සෞඛ්‍ය සේවිකා තනතුරේ පවතින පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

(iii) එම පුරප්පාඩු පිරවීමට පියවර ගන්නේද;

(iv) පවුල් සෞඛ්‍ය සේවිකාවන් සඳහා අවශ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට ගනු ලබන ක්‍රියාමාර්‌ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-10-22

අසන ලද්දේ

ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ඔව්, පැහැදිලිවම.

                        අපේ රටේ විශේෂයෙන්ම පූර්ව ප්‍රසව - antenatal - සංරක්ෂණය, අන්තර් ප්‍රසව සංරක්ෂණය සහ පසු ප්‍රසව - postpartum -  සංරක්ෂණය යන තේමාවන් තුළ ගුණාත්මක සේවාවක් සපයමින් මාතෘ හා ළමා සෞඛ්‍ය සංවර්ධනය මූලික කොට සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දීම වැනි විශාල සේවයක් සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා මේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සිදු කරනවා.

අපේ රටේ අද තිබෙන මාතෘ හා ළදරු සෞඛ්‍යයට අදාළව ගත් විට, රටක් හැටියට අපව අගය කිරීමට ලක් කරන විධියට, රටක් හැටියට අපට බොහොම අභිමානයෙන් ලෝකය ඉස්සරහට යන්න පුළුවන් වන විධියට මාතෘ හා ළදරු සෞඛ්‍ය පවත්වාගෙන යෑමේදී ඉතා විශාල කාර්යභාරයක් ඉටු කරන්නේ මේ කියන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්. Universal Health Coverage එකේ අපට තිබෙන score එක 67. එසේ score එක 67ක් ගන්න ලොකුම හේතුවක් වෙලා තිබෙනවා, අපේ රටේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් ක්ෂේත්‍රයේ සහ රෝහල්වල කරන කාර්යභාරය. ඒ නිසා අපි එය විශේෂ ඇගැයීමකට ලක් කරනවා.

 

 (ii) රේඛීය අමාත්‍යාංශය යටතේ

  පවතින රෝහල්වල -    430

 

පළාත් සභා යටතේ

පවතින රෝහල් හා ආයතනවල - 2,183

 

මුළු පුරප්පාඩු සංඛ්‍යාව - 2,613

 

(iii) ඔව්.

- මේ වන විට පවුල් සෞඛ්‍ය සේවා පුහුණු පාසල්වල පවුල් සෞඛ්‍ය සේවා අභ්‍යාසලාභීන් 1,110ක් පුහුණුව ලබන අතර, එම කණ්ඩායම 2026 මාර්තු වන විට පුහුණුව අවසන් කිරීමට නියමිතය. පුහුණුව අවසන් කිරීමෙන් පසු නව පත්වීම් ලබා දීම තුළින් පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීමට කටයුතු කරනු ලැබේ.

පුහුණුව අවසන් කළාට පසුව ඒ අය සේවයට බඳවා ගන්න පුළුවන් වේවි කියලා අපි විශ්වාස කරනවා. 

- එසේම තවත් 1,000ක කණ්ඩායමක් ඉදිරියේදී පුහුණුවට බඳවා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

ගරු මන්ත්‍රීතුමියනි, ඒ අනුව සාමාන්‍යයෙන් 2,100ක වාගේ ප්‍රමාණයක් බඳවා ගන්න අපට හැකි වේවි, ඊළඟ වසරේ 1,100කුත් තවත් වසර දෙකක්, දෙකහමාරක් ගියාට පසුව තවත් 1,000කුත් වශයෙන්. ඒ වාගේම පසුගිය මාර්තු මාසයේදී පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 976දෙනෙකුට පත්වීම් ලබා දුන්නා. ඒක විශාල ප්‍රමාණයක්. ඒ අනුව තමයි මේ පුරප්පාඩු පුරවා ගෙන යන්නේ.

(iv) 1. වර්ෂ 2026 වන විට ක්ෂේත්‍ර නිලධාරිනියන් සඳහා යතුරුපැදි ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

ඒ අයගෙන් බහුතරයක් ක්ෂේත්‍රයේ වැඩ කරන අයයි. පසුගිය කාලය පුරාම තිබුණු ලොකුම ගැටලුවක් තමයි එම නිලධාරිනියන් සඳහා යතුරු පැදි ලබා දීමේදී වෙච්ච අඩුපාඩුව. මීට වසර ගණනාවකට කලින් යතුරුපැදි ලබා දීමේදීත් රටේ දිස්ත්‍රික්ක දෙකකට ඒවා හරියාකාරව ලැබිලා තිබුණේ නැහැ.

අපි මේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් සඳහා යතුරු පැදි 2,250ක් ලබා දෙනවා. ලබන වසරේ අප්‍රේල් මාසය වන විට ඒවා ලබා දෙන්න අපට පුළුවන්කම ලැබෙයි. මේ තිබෙන අඩුපාඩුව සම්පූර්ණ කරලා ක්ෂේත්‍රයේ රාජකාරි කටයුතු කරන සහ අපේ සෞඛ්‍ය සේවාවට විශාල කාර්යභාරයක් කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ ප්‍රවාහන ප්‍රශ්නයට සැලකිය යුතු විසඳුමක් ලබා දෙන්න එමඟින් පුළුවන්කමක් ලැබෙනවා.

2. විශේෂ රාජකාරි සඳහා රු.6,000ක දීමනාවක් ලබා දීමට කටයුතු සිදු කරනු ලබනවා.

3. නිල ඇඳුම් දීමනාව රු.5,000කින් වැඩි කරලා දැන් රුපියල් 28,000ක් ලබා දෙනවා. එය කලින් රුපියල් 23,000ක් ලෙසයි තිබුණේ. පසුගිය මැයි මාසයේ ඉඳලා රුපියල් 28,000ක් ලබා දෙනවා. සමස්තයක් හැටියට, රජයේ සේවකයන්ට ලබා දෙන පහසුකම්වලට අමතරව මේ අය වෙනුවෙන් මේ පහසුකම් ද ලබා දීලා තිබෙනවා. ඊටත් අමතරව ගත්තොත්, රාජ්‍ය සේවයේ පොදු වැටුප් වැඩිවීම ඒගොල්ලන්ටත් බලපානවා.

(ආ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2025-10-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks