පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
847/2025
ගරු නිශාන්ත පෙරේරා මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් එම කොමිෂන් සභාවේ සේවකයන් වෙත විශේෂ වරප්‍රසාද යටතේ ඉඩම් බැහැර කර ඇති බව දන්නේද;
(ii) එසේ නම්, එලෙස ඉඩම් ලබාදී ඇති සේවකයන් සංඛ්‍යාව කොපමණද;
(iii) ඊට අදාළ සම්පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කරන්නේද;
(iv) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සේවකයන් වෙත විශේෂ වරප්‍රසාද යටතේ ඉඩම් බැහැර කිරීමේ නෛතික පදනම කවරේද;
(v) එලෙස බැහැර කරන ලද ඉඩම්, වෙනත් පාර්ශ්ව වෙත විකිණීමට හෝ පැවරීමට හැකියාවක් තිබේද;
(vi) විශේෂ වරප්‍රසාද යටතේ ලැබුණු ඉඩම් අතරින් වෙනත් පාර්ශ්ව වෙත විකුණා හෝ පවරා ඇති ඉඩම් සංඛ්‍යාව කොපමණද;
(vii) එම ඉඩම්, වෙනත් පාර්ශ්ව වෙත විකිණීම හෝ පැවරීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-05-09
අසන ලද්දේ
ගරු නිශාන්ත පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 1982 වර්ෂයේ සිට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සේවයේ නියුතු සේවකයින් වෙත සේවක සුබසාධන පදනම යටතේ මුදල් අය කිරීම සිදු කර ඉඩම් කොටස් ලබා දී ඇත.
(ii) 2007 වසරේ සිට 2025.04.11 වන දින වන විට ලේඛනගත තොරතුරු අනුව සේවකයින් 395දෙනෙකු වෙත සින්නක්කර ඔප්පු ලබා දීමේ ක්‍රමවේදය යටතේ ඔප්පු ලබා දී ඇත.
(iii) 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනතින් බිහි වූ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව රටේ සංවර්ධන සහ සමාජ සුබසාධනය අරමුණු කර ගනිමින් පුරා වසර 51ක ඉතිහාසයකට හිමිකම් කියනු ලැබේ.
එවැනි අඩසියවසක කාලයක සිට මෙම කොමිෂන් සභාවේ සේවයේ නිරත වන නිලධාරින් හා සේවකයින් වෙත ඔවුන්ගේ සුබසාධනය සඳහා වූ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පනතේ 44(ඕ) වගන්තිය යටතේ ප්‍රතිපාදන සලසා ඇත. එකී වගන්තිය ප්‍රකාරව සේවයේ නිරතවන්නන් සඳහා අර්ථසාධක අරමුදලක් පිහිටුවීම සඳහා සුබසාධක හා විනෝද ක්‍රීඩා පහසුකම් හා නිවාස හා නේවාසිකාගාර පහසුකම් සැපයීම වැනි පහසුකම් සපයා දීමට ඉඩ ප්‍රස්ථා සලස්වා ඇත. මෙහිදී නිවාස හා නේවාසිකාගාර පහසුකම් සැපයීම දීර්ඝකාලීනව වියදම්කාරී වීම හේතුවෙන් 44(ඕ) වගන්තිය හා 22(ඇ) වගන්තියේ ප්‍රතිපාදන අදාළ කර ගනිමින් නිවාස තනා ගැනීමට බිම් කොටස් ලබා දීමට 1980 දශකයේ මුල් කාලයේ සිට ක්‍රියාත්මකව පැවැති වැඩ පිළිවෙළක් බව දන්වා සිටිමි.
ඒ අනුව, 1982-1984 කාල වකවානුවේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සේවයේ නියුක්තව සිටි සේවකයින් වෙත සේවක ඉඩම් කොටස් ලබා දීම යටතේ ඔප්පු ලබා දීමට කටයුතු කර ඇත. එම කාල වකවානුවේදී එක් සේවකයකු වෙත පර්චස් 40ක පමණ ප්‍රමාණයක් පවරා දීමට කටයුතු කර ඇත.
පසුකාලීනව, එනම් 2005 වසරේදී ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වෘත්තීය සමිති නියෝජිතයින් හා සුබසාධක සංගමයේ නියෝජිතයින් පිරිසක් එවකට ගරු විෂය භාර අමාත්‍යතුමන් සමඟ 2005.09.20 දින පවත්වන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස කොමිෂන් සභාවේ සේවය කරනු ලබන එතෙක් ඉඩම් කොටස් නොලැබුණු සේවකයින්ට නිවාස කාර්යය සඳහා ඉඩම් කොටස් ලබා දීමට ලද අනුමැතිය මත කොමිෂන් සභා අනුමැතිය ලබාගෙන ඇත.
එසේ ඉඩම් කොටසක් ලබා ගැනීම සඳහා හිමිකම් ලබනුයේ කොමිෂන් සභාවේ සේවකයින් අතුරින් වසර 05ක අඛණ්ඩ සේවා කාලයක් සපුරා ඇති, විනය විරෝධී කටයුත්තකට භාජන නොවූ සේවකයකු වන අතර සේවා කාලය වසර 05ක් ඉක්මවන සේවකයින්ගේ සේවා විස්තර කොමිෂන් සභාවට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීම සිදු කර ඇත.
වර්තමානයේ සේවයේ නියුතු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සේවකයින්ට ඉඩම් කොටස් ලබා දීම සඳහා වූ ප්‍රතිපත්තිමය තීරණය ලබා ඇත්තේ 2005.10.19 දිනැතිව පැවැති කොමිෂන් සභා වාරයේදී වන අතර එම අවස්ථාවේදී එක් පුද්ගලයෙකුට ලබා දිය යුතු උපරිම බිම් ප්‍රමාණය පහත දැක්වෙන පරිදි විය යුතු බවට තීරණය කර ඇත.
මෙහිදී කොමිෂන් පත්‍රිකා අංක 4292 (සමාලෝචන අංක 1) යටතේ කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලයේ නිලධාරින්ට/සේවකයින්ට නිවාස කටයුතු සඳහා ඉඩම් කොටස විකිණීමෙන් පවරා දීමේදී කලින් අයිතිකරු වන ප්‍රකාශක වෙත ගෙවන ලද වන්දි මුදල පදනම් කර ගත යුතු බවට තීරණය කර ඇත. එකී පදනම මත පර්චස් 20ක් වූ බිම් කොටසක් සඳහා අය කළ යුතු තක්සේරු අගය ගණනය කිරීමේදී වර්තමානයේ අය කරනු ලබන මුදලට වඩා බෙහෙවින් පහළ අගයක් ගනු ලැබීම හේතුවෙන් 2007 පොදු චක්‍රලේඛයේ සඳහන් වන පරිදි රුපියල් 1,000ක මුදලක් අය කිරීමේ පදනම මත මුදල් අය කර ඇත. මේ වන විට 2007 පොදු චක්‍රලේඛය අවලංගු කර ඇත.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ව්‍යවස්ථාපිත මණ්ඩලයක් වන අතර සේවකයකු තම සේවා කාලය අවසන් කළ පසුව නීත්‍යනුකූලව හිමිකම් කියනුයේ සේවක අර්ථසාධක අරමුදලට සහ කොමිෂන් සභාවෙන් ලබා දෙන්නා වූ සේවා පාරිතෝෂිකයකට පමණක් වන බැවින් සේවකයින්ගේ සුබසාධනය ඉලක්කගත කරමින් කොමිෂන් සභාවේ අනුමැතිය සහිතව ක්‍රියාත්මක වැඩසටහනක් බව කාරුණික අවධානය සඳහා වාර්තා කරමි.
තවද, ඉඩම් කොටස්වල නීත්‍යනුකූල අයිතිය සේවකයින් වෙත ඔප්පු මඟින් පවරාදීමේදී හා ඇතැම් අවස්ථාවලදී ඉඩම් කොටසේ භුක්තියට යාමේදී ඇතිවූ ගැටලුකාරිත්වයන් හේතුකොටගෙන ලබා දුන් ඉඩම් කොටස නැවත කොමිෂන් සභාවට පවරා ගැනීමෙන් පසුව වෙනත් ඉඩමකින් ඉඩම් කොටස ලබා දීමට කටයුතු කර ඇති බව ද, එසේ ඉඩම් කොටස ලබා දීම සේවකයින්ට පමණක් නොව ඇතැම් අවස්ථාවලදී සාමාන්‍ය ඉඩම් කොටස් ලබා ගන්නා මහජනතාවටද මෙම ක්‍රමය අදාළ කර ගනිමින් විකල්ප ඉඩම් කොටස් ද කොමිෂන් සභා අනුමැතිය යටතේ බැහැර කිරීම මීට පෙර රාජකාරි ඉටු කරන ලද සභාපතිවරුන් විසින් සිදු කර ඇති බව ද සඳහන් කරමි.
කෙසේ නමුත්, ජාතික විගණන කාර්යාලය විසින් 2023 වර්ෂයේ නිකුත් කරන ලද විගණකාධිපති වාර්තාවේද විෂයගත ඉඩම් පැවරීම පිළිබඳ විගණිත මතයක් පළ කිරීම හේතුවෙන් සේවක ඉඩම් පැවරීම් සම්බන්ධයෙන් වර්තමාන කොමිෂන් සභාව මඟින් එම කරුණු සලකා බලා සුදුසු ලෙස සංශෝධනය කිරීමට නියමිතව පවතී. සේවක ඉඩම්ලාභී නාම ලේඛනය ඇමුණුම ලෙස ඉදිරිපත් කරමි. ඇමුණුම සභාගත* කරමි.
(iv) විශේෂ වරප්‍රසාදය යටතේ නොව -ඒ කියන්නේ මේ LRC එකේ සේවකයන්ට ඉඩම් ලබා දී තිබෙන්නේ විශේෂ වරප්‍රසාද යටතේ නොවෙයි.- පනතේ 22(1)ඇ වගන්තිය ප්‍රකාරව හා වරින් වර එළඹි කොමිෂන් සභා අනුමැතීන් මත පනතේ 44(ඕ) වගන්තිය යටතේ සේවක සුබසාධනය සැලසීම සඳහා වූ ප්‍රතිපාදන අදාළ කරගනු ලැබ ඇත.
(v) ඔප්පුවක් ලබා දීමේ සාමාන්‍ය නෛතික ක්‍රමවේදයට අනුගතව අදාළ දේපළ පවරා දී ඇත. ඒ අනුව වෙනත් පාර්ශ්වයක් වෙත පවරා දිය හැක.
(vi) සින්නක්කර පවරා දෙනු ලැබීමෙන් පසු පෞද්ගලික දේපළක් වේ. ඒ පිළිබඳ නැවත සොයා බැලීමේ නීතිමය අවශ්‍යතාවක් මතු වන ආකාරයේ කරුණු වාර්තා වීමක් සිදුව නොමැත.
(vii) වරින් වර සංශෝධිත 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනතේ 22(1)ඇ වගන්තිය යටතේ නේවාසික අරමුණු යටතේ භාවිත කිරීම හා පවරා දීම කළ හැක.
(ආ) ඉහත පිළිතුරු අනුව අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-06-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks