පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
825/2025
ගරු එස්. එම්. මරික්කාර් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සහ එයට අනුබද්ධ ආයතන විසින් මිලදී ගනු ලබන ඖෂධ සඳහා වර්ෂයකට වියදම් කරනු ලබන මුළු මුදල කොපමණද;
(ii) එම මුදල, අමාත්‍යාංශය සහ එයට අනුබද්ධ එක් එක් ආයතනය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) වාර්ෂික ඖෂධ අවශ්‍යතාවයෙන් දේශීය වශයෙන් මිලදී ගනු ලබන ඖෂධ ප්‍රමාණය, විදේශීය වශයෙන් මිලදී ගනු ලබන ඖෂධ ප්‍රමාණය සහ ඒ සඳහා වැය වන මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) ඖෂධ ඇණවුම් කිරීමේ කාල වකවානු තීරණය කිරීමේ ක්‍රමවේදය කවරේද;
(v) ඇණවුම් කරන ලද යම් ඖෂධයක් සැපයීම ප්‍රමාද වන්නේ නම්, ඊට වගකිවයුතු නිලධාරියා කවුරුන්ද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම් ඒ මන්ද?
අසන ලද දිනය
2025-10-21
අසන ලද්දේ
ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සහ එයට අනුබද්ධ ආයතන විසින් ඖෂධ සඳහා 2025 වර්ෂයට අදාළව වියදම් කිරීමට අපේක්ෂිත මුළු මුදල - සෞඛ්‍ය අමාත්‍යාංශය |
රුපියල් 183,800,000,000.00 (රුපියල් බිලියන 183.8) |
|
දේශීය වෛද්‍ය අංශය විසින් පළාත් රෝහල් සඳහා |
රුපියල් 200,000,000.00 (රුපියල් මිලියන 200) |
(ii) රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට -SPC- 2024 වර්ෂයේ සත්‍ය වියදම රුපියල් බිලියන 48යි. 2025 වර්ෂය සඳහා ඇස්තමේන්තු ප්‍රතිපාදනය රුපියල් බිලියන 90යි.
Health System Response Project (AIIB) යටතේ 2024 වර්ෂයේ වියදම තිබුණේ රුපියල් බිලියන 9.9යි. 2025 වර්ෂයේ ඇස්තමේන්තු ප්‍රතිපාදනය රුපියල් බිලියන 7.7යි.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ -SPMC- 2024 වර්ෂයේ සත්‍ය වියදම රුපියල් බිලියන 26යි. මෙවර රුපියල් බිලියන 30යි.
වෛද්‍ය සැපයීම් අංශයේ - MSD එකේ - 2024 වර්ෂයේ සත්‍ය වියදම රුපියල් බිලියන 37යි. මෙවර රුපියල් බිලියන 37.8යි. මේ කියන්නේ, local manufacturersලාට දෙන මුදල.
රේඛීය අමාත්‍යාංශයට අදාළ රෝහල් සඳහා.
ඒ කියන්නේ ගරු මන්ත්‍රීතුමනි, local purchase කරන්න. ඇත්තටම මේක හදිසි තත්ත්වයක් සඳහා තමයි තිබෙන්නේ. ඒකට පසුගිය වසරේ රුපියල් බිලියන 21ක් වියදම් කරලා තිබුණා. නමුත් අපි මේ වසරේ රුපියල් බිලියන 20ක් ඇස්තමේන්තු කර තිබෙනවා.
දේශීය වෛද්‍ය අංශය සඳහා 2024 වර්ෂයේ වියදම, රුපියල් මිලියන 100යි. මෙවර රුපියල් මිලියන 200යි.
(iii) 2024/2025 වර්ෂය සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් හඳුන්වා දී ඇති ප්‍රමුඛතා ලැයිස්තුවට අදාළව අයිතම 862ක් රෝහල් සහ සෞඛ්‍ය ආයතනවල භාවිතය සඳහා අනුමත කර ඇත. එහිදී ඖෂධ 246ක් දේශීයව මිලදී ගැනීම සිදු කරනවා. මේ සඳහා 2025 වසර වෙනුවෙන් කැබිනට් අනුමැතියට අනුව රුපියල් බිලියන 46.72ක ඇණවුම් මේ වන විටත් ලබා දී ඒවා ලබා ගනිමින් පවතිනවා.
තවද, විදේශයෙන් ආනයනය කරනු ලබන අයිතම සංඛ්‍යාව 616ක් වන අතර, 2025 වසර සඳහා අවශ්‍ය ප්‍රමාණය ලබා ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව -SPC- වෙත ඇණවුම් නිකුත් කර තිබෙනවා. ඒ ඇණවුම් නිකුත් කිරීම ජනවාරි 31වන දා වනකොට අවසන් කළා. ඒ අනුව මම කලින් කිව්වා වාගේ රුපියල් බිලියන 90ක් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ලබා දී තිබෙනවා.
ගරු මන්ත්‍රීතුමනි, ඇත්තටම අපි මේක මුලින් ඇස්‍තමේන්තු කළේ බිලියන 60ක් පමණ. මොකද, පසුගිය අවුරුද්දේ වියදම් කර තිබෙන්නේ දින 48ක් නිසා. නමුත්, බිලියන 60, දැන් බිලියන 90 දක්වා වැඩි වෙලා තිබෙනවා. ඉදිරි මාස එකහමාර තුළ තවත් බිලියන 20ක් පමණ ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. එතකොට පසුගිය අවුරුද්දට වඩා දෙගුණයකටත් වැඩි -සියයට 230කට වැඩි - මුදලක් අපි SPC එකට ලබා දෙනවා. ඒ නිසා තමයි local purchaseවලට වියදම් කරන මුදල් ප්‍රමාණය ටිකක් අඩු වෙලා තිබෙන්නේ.
(iv) වසර දෙකකට වරක් පවත්වනු ලබන වට්ටෝරු සමාලෝචන කමිටුව - Formulary Revision Committee එක - මඟින් නිර්දේශ කරන ලද අයිතම ලැයිස්තුවකට අදාළව විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්වත් සංගම්වලින් සැදුම්ලත් කමිටුවක් මඟින් ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කරනු ලැබේ.
ඒ අනුව තමයි මම කලින් කියපු ඖෂධ 862ක් ප්‍රමුඛතා ලැයිස්තුගත කරලා තිබෙන්නේ.
ඒ අනුව වර්ෂය අවසාන කාර්තුවේදී ආයතනවලින් ලබා ගන්නා වාර්ෂික ඇස්තමේන්තුව පදනම් කරගෙන ඉදිරි වර්ෂයේ ජනවාරි 31 දිනට ප්‍රථම මාස 11ක පොරොත්තු කාලයක් සහිතව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ආනයනික ඖෂධ ලබා ගැනීම සඳහා වෛද්‍ය සැපයීම් අංශය මඟින් ඇණවුම් ලබා දීම සාමාන්‍ය ක්‍රමවේදය වෙනවා. අපි ජනවාරි 31 දිනට කලින් ඇණවුම් අරගෙන SPC එකට ලබා දෙනවා.
ඒ අනුව සෑම වර්ෂයකම ආයතනික ඇස්තමේන්තුව වර්ෂයේ හතරවන කාර්තුවේදී ලබාගෙන ඉදිරි වර්ෂයේ ජනවාරි 31 දිනට ප්‍රථම ආනයනික ඖෂධ සඳහා ඇණවුම් ලබා දීම කාලසටහනකට අනුව සිදු වෙනවා. එසේම දේශීයව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ සඳහා සෑම වර්ෂයකම තුන්වන කාර්තුව අවසානයේදී ඇණවුම් ලබා දීම වෛද්‍ය සැපයීම් අංශය මඟින් සිදු කරනු ලබනවා.
මේ වන විට ඒ ඇණවුම් ලබා දීම හරියට කරලා තිබෙන බවත්, ටෙන්ඩර් ක්‍රියාවලිය හරියට සිදු වෙමින් පවතින බවත් මට සහතික කරලා කියන්න පුළුවන්.
(v) ඔබතුමා අහන්නේ ඇණවුම් කරන ලද ඖෂධයක් ප්‍රමාද වීම ගැන. ඇණවුම් කළ ඖෂධයක් සැපයීම ප්‍රමාද වන්නේ නම්, එම ඇණවුමට අදාළ සැපයුම්කරු ඒ සඳහා වගකිව යුතු අතර, ඔහු සමඟ එළඹෙන ලද ගිවිසුමේ කොන්දේසි ප්‍රකාරව ඉදිරි කටයුතු සිදු කරනු ලබයි. තවද, එම සැපයීම නියමිත කාලයට සිදු නොවීම නිසා ඇති වන තොග හිඟතාවට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ වෛද්‍ය සැපයීම් අංශය එක්ව ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් කටයුතු කරනවා.
ගරු මන්ත්‍රීතුමා, ඇණවුම හරියට දුන්නාම, ඇත්තටම ටෙන්ඩර් ක්‍රියාවලියට දින අපි tender guidelinesවලින් නියම කරලා තිබෙනවා නේ. එතකොට මෙහි යම් හෝ ප්‍රමාදයක් සිදු වෙනවා නම් සිදු වෙන්නේ තාක්ෂණික ඇගැයීම් කමිටුව - TEC එක - ගන්නා කාලය අනුව. මොකද, TEC එක අපට මේ කාලය කියලා නැහැ. එහි සිදුවන ක්‍රියාකාරිත්වය මඟින් තමයි ඒ කටයුතු සිදු වන්නේ. නමුත් එහිත් ප්‍රමාදය අපි අවම කරමින් යනවා. සැපයුම, ඇණවුම භාර දුන්නාට පස්සේ ඒක අපට ලැබීමේ ක්‍රියාවලියේදී ඇත්තටම විවිධ ප්‍රමාදයන් තිබීම සම්බන්ධව සැපයුම්කරු තමයි වග කියන්නට ඕනෑකම තිබෙන්නේ.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-10-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks