01

E   |     |  

 දිනය: 2025-05-22   පිළිතුර ලබා දී ඇත 

0817/2025: අයාලෙ යන සුනඛ ගහනය පාලනය: ක්‍රියාමාර්ග

----

අසන ලද දිනය

2025-05-22

අසන ලද්දේ

ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)        1.      සුනඛ ගහනය පාලනය කිරීම සඳහා විකල්ප උපාය මාර්ග හඳුනා ගැනීම.

                                   සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික ක්‍රියාකාරී කණ්ඩායම් - TWG - විසින් අයාලෙ යන සහ නිද‍හසේ සැරිසරන සුනඛයන්ගේ ප්‍රජනන වේගය අඩු කරමින් සුනඛ      ගහන පාලනයට සහාය වීම සඳහා විභව උපාය මාර්ග ලෙස විවිධ උපත් පාලන ක්‍රම ගවේෂණය මෙහිදී සිදු කරන ලද අතර, මේ වන විට අදාළ පාර්ශ්ව සමඟ මෙම ක්‍රමවල ශක්‍යතා අධ්‍යයන කටයුතු සිදු කරනු ලැබේ.

2. අපද්‍රව්‍ය කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා ප්‍රගතිශීලි ක්‍රියාමාර්ග ගැනීම.

දුර්වල අපද්‍රව්‍ය බැහැර කිරීම අයාලෙ යන සුනඛයින්ට ස්ථාවර ආහාර ප්‍රභවයක් සපයමින් එය ඔවුන්ගේ වර්ධනයට දායක වන බැවින් සුනඛ ගහනය පාලනය කිරීම සඳහා ප්‍රධාන උපාය මාර්ගයක් ලෙස ඵලදායී අපද්‍රව්‍ය කළමනාකරණය කෙරෙහි මෙහිදී අවධානය යොමු කර ඇත. මෙය සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා පළාත් පාලන අධිකාරින්, මධ්‍යම පරිසර අධිකාරිය, පාරිසරික පොලීසිය, මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා සහ සත්ව සුබසාධන සංවිධාන ඇතුළු ප්‍රධාන කොටස්කරුවන්ගේ දායකත්වය ලබා ගැනීමටද මෙහිදී අපේක්ෂා කෙරේ.

3. වගකිව යුතු සුරතල් සතුන් හිමිකාරිත්වය සහ සුරතල් සතුන් ලියාපදිංචි කිරීම ප්‍රවර්ධනය කිරීම.

    මෙහි මූලික සැලසුම් අතරට,

i. සුරතල් සතුන් නියාමන රාමුව සංවර්ධනය කිරීම;

ii. ජාතික සුරතල් සත්ව දත්ත සමුදායක් ස්ථාපිත කිරීම; සහ

iii. ජලභීතිකා එන්නත් වාර්තා ඒකාබද්ධ කිරීම යනාදිය ඇතුළත් වේ.

4. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අංශය හරහා මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් අඛණ්ඩව පැවැත්වීම.

(ii) ඔව්.

1. ජාතික සුනඛ වන්ධ්‍යකරණ වැඩසටහනට නිවාසවල ඇති කරන සුනඛයින් අදාළ කර ගැනීම.

2. වගකිවයුතු සුරතල් සතුන් හිමිකාරිත්වය ප්‍රවර්ධනය කිරීම.

මේ යටතේ රට පුරා රජයේ නිලධාරින් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය සඳහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ - ToT - වැඩසටහන් ඇතුළු මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වයි.

3. සත්වයින් නිසා සිදුවන අනතුරු වැළැක්වීම, වගකිවයුතු සුරතල් සතුන් හිමිකාරිත්වය සහ සතුන්ට මානුෂීයව සැලකීම යන මාතෘකා පාසල් විෂය මාලාවට ඇතුළත් කිරීම.

4. සත්ව සුබසාධන සංවිධාන සමඟ සහයෝගීතාවෙන් කටයුතු කිරීම.

මෙහිදී සත්ව සුබසාධන සහ ආරක්ෂණ සංගමය - AWPA - සහ සත්ව සුවතා භාරය - AWT - වැනි විවිධ රාජ්‍ය නොවන සංවිධාන සමඟ සමගාමීව කටයුතු කිරීම. මෙමඟින් අතහැර දැමූ සතුන් බේරා ගැනීම සහ පුනරුත්ථාපන කටයුතු සිදු කරනු ලබයි.

5. සුරතල් සතුන් ලියාපදිංචිය ප්‍රවර්ධනය කිරීම.

මෙමඟින් පොදු ස්ථානවල සුරතල් සතුන් අතහැර දැමීම අධෛර්යවත් කිරීම සඳහා පියවර ගැනීම.

(iii) 1. 2006 වර්ෂයේ සිට ක්‍රියාත්මක ජාතික සුනඛ වන්ධ්‍යකරණ වැඩසටහන මඟින් අයාලෙ යන සුනඛ ගහනය කළමනාකරණය කිරීම සහ මහජන සෞඛ්‍ය සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීම සඳහා මානුෂීය වන්ධ්‍යාකරණ ක්‍රම කෙරෙහි අවධානය යොමු කිරීම.

2. වත්මන් සුනඛ වන්ධ්‍යකරණ වැඩසටහනේ අඩු පාඩු මේ වන විටත් හඳුනාගෙන ඇති අතර, ඒවායේ අඩු පාඩු නිවැරදි කිරීමට දිස්ත්‍රික් මට්ටමින් මෙහෙයුම් සැලසුම් සංශෝධනය කිරීම සහ ඒවා වඩාත් ඉලක්කගතව ක්‍රියාත්මක කිරීමට ග්‍රාම නිලධාරි කොට්ඨාස මත පදනම්ව නව සැලසුම් සංවර්ධනය කිරීම.

3. වගකිවයුතු සුරතල් සතුන් හිමිකාරිත්වය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම.

පුහුණුකරුවන් පුහුණු කිරීමේ - ToT - වැඩසටහන් සංවිධානය කිරීම, වගකිවයුතු සුරතල් සතුන් රැකබලා ගැනීම ප්‍රවර්ධනය කිරීම, සුනඛ සපාකෑම් අවදානම අවම කිරීම යන කරුණු සම්බන්ධයෙන් දැනුවත් කිරීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

4. සුරතල් සතුන් නිසා සිදුවන අනතුරු වැළැක්වීම, වගකිවයුතු සුරතල් සතුන් හිමිකාරිත්වය සහ සතුන්ට මානුෂීයව සැලකීම පිළිබඳව දරුවන් දැනුවත් කිරීම, ආරක්ෂිත සහ වඩාත් දයානුකම්පිත සමාජයක් ගොඩනැඟීමට අත්‍යවශ්‍ය වන බැවින් එවැනි කරුණු ජාතික පාසල් විෂය මාලාවට ඒකාබද්ධ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් විධිමත් යෝජනාවක් මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇත.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2025-05-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) හංසක විජේමුණි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks