01

E   |     |  

 දිනය: 2025-06-18   පිළිතුර ලබා දී ඇත 

0715/2025: කුකුළේ ගඟ විදුලි බලාගාරයේ ප්‍රවේශ මාර්ගය: නඩත්තු කිරීම

715/2025

ගරු ධනුෂ්ක රංගනාත් මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)          (i)      කුකුළේගඟ විදුලි බලාගාරය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කර ගැනීම ආරම්භ කරන ලද කාල වකවානුව කවරේද;

             (ii)      එම ව්‍යාපෘතිය සඳහා අත්පත් කර ගන්නා ලද ඉඩම් ප්‍රමාණය කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) එම විදුලි බලාගාරයේ ප්‍රවේශ මාර්ගය සම්බන්ධයෙන් දැනුම්වත් වී තිබේද;

(ii) එම ප්‍රවේශ මාර්ගයේ ආරම්භක ස්ථානය සහ අවසාන ස්ථානය කවරේද;

(iii) ඉහත ප්‍රවේශ මාර්ගයේ මාර්ග අංක 437 දරන බස් රථය ධාවනය වන අතර එම මාර්ගය පොදු ප්‍රවාහන මාර්ගයක් බවට පත් වී ඇති බව දන්නේද;

(iv) එම මාර්ගයේ කුකුළේගඟ විදුලි බලාගාරයට අයත් වන කොටසේ දුර කොපමණද;

  (v) නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් එම මාර්ග කොටසේ අර්ධයකට ආසන්න ප්‍රමාණයක් අනාරක්ෂිතභාවයට පත් වී ඇති බව දන්නේද;

(vi) එම මාර්ග කොටස නිසි පරිදි නඩත්තු කිරීම සඳහා පියවර ගන්නේද;

(vii) නොඑසේ නම්, එම මාර්ගය, මාර්ග සංවර්ධන අධිකාරියට පවරා දෙන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-06-18

අසන ලද්දේ

ගරු ධනුෂ්ක රංගනාත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      1995 ජනවාරි මස.

              (ii)      ආසන්න වශයෙන් හෙක්ටෙයාර 340ක්.

(ආ)         (i)      ඔව්.

              (ii)      ආරම්භක ස්ථානය, මෝල්කාව අලුත් හන්දිය. අවසාන ස්ථානය, මතුගම-කලවාන මාර්ගයෙහි ව්‍යාපෘති හන්දිය.

             (iii)      ඔව්.

             (iv)      කිලෝමීටර 1.25ක් පමණ.

              (v)      ඔව්. මෙම පොදු මාර්ගයෙහි බස්නාහිර පළාතට අයිති කොටසක් පමණක් එවකට පැවති රජය විසින් ක්‍රියාත්මක කළ කිලෝමීටර ලක්ෂයේ වැඩසටහන යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් කාපට් අතුරා මනා ලෙස සංවර්ධනය කරන ලදී. නමුත්, මෙම මාර්ගය දෙපස එළිපෙහෙළි කිරීම කිසිදු ආයතනයක් මඟින් මෙතෙක් සිදු නොකිරීම නිසා අනාරක්ෂිතව පවතී.

(vi)  අදාළ මාර්ග කොටස නඩත්තු කිරීමේ හැකියාවක් කුකුළේ ගඟ විදුලි බලාගාරය සතුව නොමැත.

(vii) මෙම ‍පොදු මාර්ගය අදාළ අංශ සඳහා පවරා දීමට මහත් පරිශ්‍රමයක් දැරුවද, මේ වනතෙක් මෙම පොදු මාර්ගය පවරා ගැනීම සම්බන්ධයෙන් අදාළ බලධාරින් විසින් කිසිදු ඉදිරි පියවරක් ගෙන නොමැත. මේ සම්බන්ධව 2005.07.29වන දින සිට 17 වතාවක් ගන්නා ලද උත්සාහයන්වල විස්තර ඇතුළත් සාරාංශයක් ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-06-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks