01

E   |     |  

 දිනය: 2025-09-26   පිළිතුර ලබා දී ඇත 

0677/2025: අදානි සමාගම සමඟ අත්සන් කරන ලද ගිවිසුම: වත්මන් තත්ත්වය

677/2025

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       පසුගිය රජය විසින් ඉන්දියාවේ අදානි සමාගම සමඟ බලාගාර ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් අත්සන් කර තිබූ බව දන්නේද;

             (ii)       වර්තමාන රජය විසින් එම ව්‍යාපෘතිය සංශෝධනය කරන්නේද;

(iii) නොඑසේ නම්, අවලංගු කරන්නේද;

(iv) පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට ජාත්‍යන්තර ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-09-26

අසන ලද්දේ

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්.

                        ශ්‍රී ලංකාව තුළ සුළං විදුලි බලය ප්‍රවර්ධනය කිරීම සඳහා ඉන්දියාවේ අදානි සමූහ ව්‍යාපාරයේ පාලිත සමාගමක් වන අදානි ග්‍රීන් එනර්ජි ලිමිටඩ් (AGEL) සහ ශ්‍රී ලංකාවේ පහත සඳහන් පාර්ශ්ව අතර 2022.03.11 දින අවබෝධතා ගිවිසුමකට එළඹ ඇත.

                        1.     මුදල් අමාත්‍යාංශය

                        2.     විදුලිබල අමාත්‍යාංශය

                        3.     විදුලිබල මණ්ඩලය

                        4.     ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය

5. ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය

(ii) කලින් පැවැති රජය විසින් මෙම ව්‍යාපෘතිය හරහා නිපදවන විදුලිය මිලදී ගැනීමට එකඟවී තිබූ ගාස්තු සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට රජය තීරණය කරන ලදී. ඒ සඳහා ව්‍යාපෘති කමිටුවක් හා ප්‍රසම්පාදන කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.

(iii) අදානි සමාගම විසින් ඉදිරිපත් කළ ‍ව්‍යාපෘති යෝජනාව ඉවත් කර ගන්නා බව අදානි ග්‍රීන් එනර්ජි ලිමිටඩ් සමාගම 2025.02.12 දිනැති ලිපිය මඟින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත දන්වා ඇත. ව්‍යාපෘති යෝජනාව ඉල්ලා අස්කර ගෙන ඇති බැවින් අවලංගු කිරී‍මේ අවශ්‍යතාවක් පැන නොනඟී.

(iv) විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව ඉදිරියේදී සැලසුම් කර ඇති මහා පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා අවශ්‍ය ශක්‍යතා අධ්‍යයනය සිදු කිරීම, පරිසර අනුමැතිය සහ අදාළ අනෙකුත් අනුමැතීන් ලබාගැනීම සහ ඉඩම් අත්කර ගැනීම වැනි මූලික වැඩකටයුතු සම්පූර්ණ කිරීම, එමඟින් විදේශීය අයෝජකයන්ට කිසිදු ගැටලුවකින් තොරව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට වාතාවරණය/අවස්ථාව සැලසේ.

• ජාත්‍යන්තර තරගකාරි ලංසු/ඉල්ලීම් ක්‍රමය මඟින් යෝජනා කැඳවීම මඟින් තරගකාරි තාක්ෂණික සහ මූල්‍යමය යෝජනා ඉදිරිපත් කිරිමට ඉඩ සැලසීම සහ විදේශ විනිමය පිළිබඳ අවදානම ආයෝජකයන්ට නොපැවරෙන අයුරින් මිලදී ගන්නා බලශක්තිය සඳහා ඩොලර් (Dollar-tariff) මඟින් ගෙවීම.

• තවද, විදේශීය ආයෝජකයන්ට ගෙවීම් සුරක්ෂිත කිරීම සඳහා ලෝක බැංකුව සමඟ ආරක්ෂණ වැඩ පිළිවෙළක් (Payment guarantee mechanism) ක්‍රියාත්මක කිරීමේ මූලික සාකච්ඡා ආරම්භ කර ඇත.

(ආ) අදාළ‍ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-09-26

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks