E   |     |  

 දිනය: 2025-11-15   පිළිතුර ලබා දී ඇත 

0626/2025: සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා සහන පොලී ණය යෝජනා ක්‍රමය: විස්තර

626/2025

ගරු කිංස් නෙල්සන් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා සහන පොලී ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගන්නා ලද දිනය කවරේද;

             (ii)       එම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ අරමුණු කවරේද;

(iii) එම ණය යෝජනා‍ ක්‍රමය යටතේ ණය ලබා දීමේදී සලකා බලනු ලබන නිර්ණායක කවරේද;

(iv) එම ණය යෝජනා ක්‍රමය යටතේ මේ වනවිට ණය ලබා ගෙන ඇති එක් එක් වී මෝල් හිමියාගේ නම සහ ලබා ගෙන ඇති ණය මුදල වෙන් වෙන් වශයෙන් කවරේද;

(v) එම වී මෝල් හිමියන් විසින් ලබා ගන්නා ලද ණය මුදල නිසි ලෙස භාවිතා කරන්නේද යන්න අධීක්ෂණය කිරීම සඳහා අනුගමනය කරනු ලබන ක්‍රමවේද කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-11-15

අසන ලද්දේ

ගරු කිංස් නෙල්සන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා සහන පොලී අනුපාතයක් යටතේ ඔඩපණ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට පහත දිනවලදී අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කර ඇත.

කන්නය

අමාත්‍ය මණ්ඩල

තීරණ දිනය

2023 යල

2023.08.14

2023/2024 මහ

2024.01.29

2024 යල

2024.06.19

2024/2025 මහ සිට

ඉදිරි කන්න සඳහා

2024.12.30

 

(ii) 1. ගොවීන්ට සාධාරණ මිලකට තම වී අස්වැන්න අළෙවි කිරීමට අවස්ථාව සලසා දීම.

2. සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුල්‍ය පහසුකම් සහනදායී පොලී අනුපාතයකට ලබා දීම.

3. සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් කර්මාන්තය ආර්ථිකය තුළ ශක්තිමත් කිරීම.

(iii) 1. ඉලක්කගත කණ්ඩායම

කන්නය

ඉලක්කගත කණ්ඩායම

2023 යල

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල්හිමියන්

2023/2024 මහ

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, වී ගබඩා හිමිකරුවන් සහ වී තොග රැස්කරන්නන්

2024 යල

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්, වී ගබඩා හිමිකරුවන් සහ වී තොග රැස්කරන්නන්

2024/2025 මහ සිට ඉදිරි කන්න සඳහා

සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති

 

 

2. අදාළ රජයේ ආයතනයකින් ලබා ගන්නා ලද ව්‍යාපාර ලියාපදිංචි සහතිකයක් තිබිය යුතුය.

3. උපරිම දෛනික වී කෙටීමේ ධාරිතාව = මෙට්‍රික් ටොන් 25

4. එක් අයෙකුට උපරිම ණය = රුපියල් මිලියන 50

5. උපරිම ණය ගෙවීමේ කාලය  = දින 180

6. කන්නයක් පාසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරනු ලබන අවම වී මිල යටතේ වී මිලදී ගත යුතුය.

7. වී අලෙවි මණ්ඩලයේ ලියාපදිංචි වූ සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමුපකාර සමිති සඳහා පමණක් මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වේ. (2025 යල කන්නයේ සිට)

(iv) මෙයට අදාළ විස්තර  මූල්‍ය අංශයෙන් ඉල්ලා තිබුණත්, තවම ලැබී නැහැ. එය ලැබුණු වහාම ඔබතුමාට ලැබෙන්න සලස්වන්න පුළුවන්.

(v) මිලදී ගැනීමට බලාපොරොත්තු වන වී තොගයේ වටිනාකමින් සියයට 75ක් සඳහා උපරිම ණය ලබා දෙනවා. ණය හිමියා විසින් ඔහුගේ අරමුදල් යොදාගෙන ඉතිරි වී ප්‍රමාණය මිලදී ගෙන ගබඩා කිරීමෙන් අනතුරුව ණය ලබා දීම සිදු කරනු ලබනවා. බැංකුව විසින් එම වී තොගය ඇපයක් වශයෙන් තබාගෙන ඔවුන් වෙත ණය මුදල මුදාහරින අතර, වී මිලදී ගැනීම සහ තොග පවත්වා ගැනීම හා බැහැර කිරීම පිළිබඳව බැංකුව මඟින් අධීක්ෂණය කරනු ලබනවා. ණය ලබා ගත් පුද්ගලයන් සඳහා අදාළ බැංකුවේ විගණක විසින් සහතික කිරීමෙන් අනතුරුව භාණ්ඩාගාරය විසින් පොලී සහනාධාරය ලබා දෙනවා. ඉන් පසු වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සිදුවන අතරතුර ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් රජයේ ප්‍රකාශිත අවම මිල ගණන් යටතේ කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හා සමුපකාර සමිති ඔඩපණ ණය ගැනුම්කරුවන් විසින් වී මිලදී ගන්නේද යන්න අධීක්ෂණය කරනවා.

(ආ) වී මෝල් හිමියන්ගේ නාම ලේඛනය ලැබුණු පසු එය ඉදිරිපත් කරන්න පුළුවන් කියන කාරණය තමයි මේකට පිළිතුර වශයෙන් තිබෙන්නේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-11-15

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks