04

E   |     |  

 දිනය: 2025-07-09   පිළිතුර ලබා දී ඇත 

0614/2025: මහනුවර ජාතික රෝහලට අයත් ඉඩම්: අනවසර පදිංචිකරුවන්

----

අසන ලද දිනය

2025-07-09

අසන ලද්දේ

ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මහනුවර ජාතික රෝහල සතු සමස්ත භූමි ප්‍රමාණය අක්කර 58.4කි. (හෙක්ටෙයාර 23.637)

              (ii)      ඔව්.

             (iii)      රෝගී සත්කාර සේවාව පුළුල් කිරීමට අවශ්‍ය සංවර්ධන කටයුතු සඳහා රෝහල් පිඹුරේ කැබලි අංක 01 සහ 19 කොටස් වැනි ප්‍රදේශ අත්‍යවශ්‍ය නමුත් අනවසර පදිංචිකරුවන් සහ ව්‍යාපාර හේතුවෙන් එම ප්‍රදේශ භාවිත කිරීමට නොහැකි වී ඇත.

ගරු මන්ත්‍රීතුමියනි, අපේ රටේ දෙවැනි ජාතික රෝහල හැටියට තමයි මහනුවර රෝහල දියුණු කරමින් පවතින්නේ. ඇත්තටම එය අපි කඩිනම් සැලසුමක් ඇතිව සංවර්ධනය කළ යුතුව තිබෙනවා. නමුත්, මේ ගැටලුව අපට දැන් ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.

(iv) 1.   ඉඩම් පැවරීම සහ ගැසට් කිරීම.

ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර නොමැති රෝහල් ඉඩමේ කැබලි අංක 1,2,5,6,7,8 යන කොටස් රජයට පවරා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ගැනීම සඳහා ඉඩම් අමාත්‍යාංශය හරහා පියවර ගනිමින් සිටී.

2.   නෙරපීම් නඩු පැවරීම.

2018 වසරේදී අනවසර පදිංචිකරුවන් විසිහත්දෙනෙකුට එරෙහිව මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයේ නෙරපීම් නඩු පවරා ඇත. එයින් දසදෙනෙකුට නෙරපීම් නියෝග ලබා දී ඇති අතර, දෙදෙනෙකුගේ දේපළ රෝහලට ආපසු අත්පත් කරගෙන ඇත. තවත් නෙරපීම් නියෝග 08ක් නිකුත් කර ඇති අතර, ඒවා අධිකරණ පිස්කල් මඟින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

  සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති අංශයේ නීතිඥවරුන්ගේ සහාය ඇතිව ඉතිරි නඩු සඳහා අවශ්‍ය නීතිමය පියවර ගනිමින් සිටී. නීතිඥ සහාය ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව වෙත ද ඉල්ලීම් යොමු කර ඇත.

  Kandy Temple View City Hotel ලැගුම්හල, මිඩ්ලන්ඩ් ගොඩනැඟිල්ල, වසන්ත රුද්‍රිගෝගේ දෙමහල් නිවස, එන්. දිනේෂ් කුමාර් සහ නුවර මල්ශාලාව වැනි තවදුරටත් ඉදි කිරීම් කරන අනවසර ඉදිකිරීම් සඳහා ද නෙරපීම් නඩු පැවරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.

3.   ඉඩමේ මායිම් වැටක් ඉදි කිරීම.

වෛද්‍ය තිලක් අබේසේකර වකුගඩු ඒකකයේ සිට හන්තාන මාර්ගය ඔස්සේ රෝහල් ඉඩම හන්තාන මාර්ගයට මායිම් වන පරිදි ආරක්ෂිත වැටක් ඉදි කර ඇත.

4.  අනවසර ඉදිකිරීම් සහ ව්‍යාපාර ඉවත් කිරීම.

මහනුවර නාගරික කොමසාරිස්වරයා සමඟ සාකච්ඡා කර, අනවසර පදිංචිකරුවන්ට රෝහල් ඉඩමේ නව වරිපනම් අංක ලබා නොදීමට, ජල/විදුලි සැපයුම් ලබා දීම අනුමත නොකිරීමට, නිවාස/ ගොඩනැඟිලි ඉදි කිරීම් අනුමත නොකිරීමට සහ වෙළෙඳ ව්‍යාපාර සඳහා බලපත්‍ර ලබා නොදීමට/ අලුත් නොකිරීමට එකඟතාවක් ලබාගෙන ඇත.

5.  අධිකරණ ක්‍රියාමාර්ග සහ නීති ආධාර.

අනවසර පදිංචිකරුවන් විසින් ඉහළ අධිකරණවලට (දිසා අධිකරණය, මහාධිකරණය සහ අභියාචනාධිකරණය) අභියාචනා කර ඇති නඩු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව/ රජයේ අධිනීතිඥවරුන් සමඟ නීතිමය පියවර ගනිමින් සිටී.

6. අනවසර පදිංචිකරුවන්ගේ තොරතුරු රැස් කිරීම.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ රෝහල් නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් මඟින් අනවසර පදිංචිකරුවන්ගේ තොරතුරු රැස් කිරීමට පියවර ගෙන ඇත. නමුත් තොරතුරු ලබාදීමේදී පදිංචිකරුවන්ගෙන් විරෝධතා එල්ල වී ඇත.

කෙසේ වෙතත්, 2023.10.18 දින ප්‍රාදේශීය ලේකම් විසින් අනවසර පදිංචිකරුවන් 181දෙනෙකුගේ නාමලේඛනයක් ලබා දී ඇති අතර, 2024.01.04 දින එම ගණන 270 ලෙස සංශෝධනය කර තොරතුරු ලබා දී ඇත. මේ සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය තොරතුරු (උදා: පවුලේ සාමාජිකයන් ගණන, රැකියාව, නිවාසවල ස්වභාවය, ඉඩම් ප්‍රමාණය, ඉවත්ව යෑමට මනාපය) ලබා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතී.

7.  ඉඩම් කමිටුවක් පත් කිරීම.

2022.08.17 දින මහනුවර ජාතික රෝහල තුළ ඉඩම් කමිටුවක් පත් කර ඇති අතර, එමඟින් රෝහලට අයත් ඉඩම් නිසි ලෙස පවරා ගැනීමට අදාළ ඉදිරි කටයුතු සිදු කරමින් පවතී.

8.  බෞද්ධ කටයුතු කොමසාරිස් වෙත දැනුම් දීම.

රෝහලට අයත් ඉඩම් කොටස් මහනුවර බෞද්ධ කටයුතු කොමසාරිස් විසින් නාථ දේවාලයට අයත් බවට පවසමින් බදු දීම වැළැක්වීම සඳහා බෞද්ධ කටයුතු කෙමසාරිස් ජනරාල් වෙත ලිපි මඟින් දැනුවත් කර ඇත.

9. රෝහල් භූමිය තුළ අලුතින් අනවසර ඉදිකිරීම් සිදු කිරීමට ඉඩ නොදී, එවැනි අනවසර ඉදිකිරීම් වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීම.

 

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2025-07-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks