පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
510/2025
ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සණස සංවර්ධන බැංකුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනයට යටත් වන්නේද;
(ii) සණස සංවර්ධන බැංකුව මඟින් විශ්‍රාමික හමුදා නිලධාරින්ට “උත්තමාචාර” නමින් ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදී තිබේද;
(iii) ඒ යටතේ මේ වනවිට ණය නිකුත් කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව සහ මුළු ණය මුදල කොපමණද;
(iv) වර්ෂ 2020 සිට 2024 දක්වා ණය නිකුත් කර ඇති පුද්ගලයන් සංඛ්‍යාව සහ මුළු ණය මුදල කොපමණද;
(v) ණය ලබාදීමේදී සැලකිල්ලට ගනු ලබන විශ්‍රාම වැටුප් ප්‍රතිශතය කොපමණද;
(vi) ණය ආපසු ගෙවීමේ අවම හා උපරිම කාල සීමාව කොපමණද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) කොවිඩ්-19 වසංගත කාලයේදී ණය අය කර ගැනීමේ කාල සීමාව දීර්ඝ කිරීමෙන් ණය මුදලට වඩා වැඩි මුදලක් පොළිය ලෙස ගෙවීමට සිදු වී ඇති බව දන්නේද;
(ii) එම දීර්ඝ කිරීම, බැංකුවේ අභිමතය පරිදි සිදු කර ඇති බව දන්නේද;
(iii) බැංකුවේ අභිමතය පරිදි එවැනි දීර්ඝ කිරීමක් සිදු කළ හැකිද;
(iv) ඒ මඟින් අගතියට පත් වී ඇති පුද්ගලයන්ට සාධාරණය ඉටු කරන්නේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-03-17
අසන ලද්දේ
ගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඩී. සූරියබණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) සණස සංවර්ධන බැංකුව (පී.එල්.සී) යනු බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් වන අතර, එය ශ්‍රී ලංකා මහ බැකුවේ නියාමනයන්ට යටත් වේ.
(ii) සණස සංවර්ධන බැංකුව විසින් ආබාධයන්ට ලක් වූ හමුදා නිලධාරින්ට "උත්තමාචාර" නමින් ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ.
(iii) පුද්ගලයන් සංඛ්‍යාව : 6,363යි.
මුළු ණය ප්‍රමාණය : රුපියල් බිලියන 41.1
(මෙම ණය යෝජනා ක්‍රමය 2014 දී ආරම්භ කර ක්‍රියාත්මක කර ඇත.)
(iv) පුද්ගලයන් සංඛ්‍යාව : 5,303යි.
මුළු ණය මුදල : රුපියල් බිලියන 28.2
(v) "උත්තමාචාර" ණය යෝජනා ක්‍රමය ලබා දෙනු ලබන්නේ වැටුප් මත පදනම්ව ආබාධයන්ට ලක් වූ හමුදා නිලධාරින්ට වන අතර, එය විශ්‍රාමිකයන්හට ලබා නොදෙයි. එබැවින්, විශ්‍රාම වැටුප් ප්‍රතිශතය අදාළ නොවේ.
(vi) ණය ආපසු ගෙවීමේ අවම කාල සීමාව අවුරුදු 01ක් වන අතර, උපරිම කාල සීමාව අවුරුදු 10ක් වේ. කෙටි කාලයක් තුළ බැංකුව විසින් වසර 12ක් දක්වා ණය ප්‍රදාන සිදු කර ඇත. එසේ වුවද, ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී ණය ආපසු ගෙවීමේ කාලය වෙනස් විය හැක.
(ආ) (i) ණය වාරිකයක වටිනාකම මුල් ණය මුදල, පොලී අනුපාතය සහ ණය මුදල අය කර ගැනීමේ කාලය යන විවිධ විචල්‍ය මත පදනම්ව තීරණය වෙයි.
තවද, විචල්‍ය ණය පොලී අනුපාත - variable interest rates - මත සමාන මාසික වාරික - equated monthly instalments - පදනම යටතේ ණය ලබා දී ඇත්නම්, ණය ප්‍රදාන පත්‍රය - offer letter - අනුව පොලී අනුපාතය වෙනස් වන අවස්ථාවලදී ණය වාරිකයේ අගය නොවෙනස්ව තබමින් ණය මුදල අයකර ගැනීමේ කාලය ගළපනු ලබයි.
එබැවින්, ණය මුදල අය කර ගැනීමේ කාලය විශාල ලෙස දීර්ඝ වුවහොත්, මුල් ණය මුදලට වඩා වැඩි මුදලක් පොලිය ලෙස ගෙවීමට සිදු වන සීමිත අවස්ථා තිබිය හැක.
(ii) ඉහත සඳහන් කර ඇති පරිදි, විචල්‍ය ණය පොලී අනුපාත මත සමාන මාසික වාරික පදනම යටතේ ණය ලබා දී ඇත්නම්, ණය ප්‍රදාන පත්‍රය - offer letter - අනුව ණය පොලී අනුපාත වෙනස්වීමේදී, ණය වාරිකයේ අගය නොවෙනස්ව තබමින් ණය මුදල අය කර ගැනීමේ කාලය ගළපනු ලබයි.
එසේ වුවද, ණය ගනුදෙනුකරුවෙකු ණය මුදල අය කර ගැනීමේ කාලය අඩු කර ගැනීම සඳහා වාරිකයේ වටිනාකම වැඩි කර ගැනීමට කැමැති අවස්ථාවලදී එම ණය ගනුදෙනුකරුගේ ඉල්ලීම මත වාරිකයේ වටිනාකම වෙනස් කිරීමට අවස්ථාව බැංකුව විසින් සලසා දී තිබුණි. මෙවැනි ණය ප්‍රතිව්‍යුහගත කිරීම් බැංකුව විසින් සිදු කර ඇත්තේ අතිරේක ගාස්තු අය කිරීමකින් තොරවය.
(iii) මේ බව ණය ප්‍රදාන පත්‍රයෙහි සඳහන් කර ඇත.
(iv) • "උත්තමාචාර" ණය යොජනා ක්‍රමයේ පොලී අනුපාතය සියයට 13 දක්වා පසුකාලීනව පහත දමා ඇත. තවද, නොගෙවූ පොලී මුදල් මත පොලී අය කරනු නොලබයි.
• මීට අමතරව, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කරනු ලබන්නේ බැංකුව හා ගනුදෙනුකරු අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ ණය නියමයන් හා කොන්දේසි - terms and conditions - මත පදනම්වය.
• එසේ වුවද, ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් හේතුවෙන් ණය ගනුදෙනුකරුවෙකු අපහසුතාවට පත්ව ඇත්තේ නම්, එවැනි ණය ගනුදෙනුකරුවෙකුට බැංකුව සමඟ සම්බන්ධ වී එකඟතාවකට එළඹීමට තවදුරටත් හැකියාව ඇති අතර, එලෙස එකඟතාවකට එළඹීමට නොහැකි වූයේ නම් හෝ එමඟින් සෑහීමකට පත් නොවන්නේ නම්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පාරිභෝගික දෙපාර්තමේන්තුව වෙත දැනුම් දිය හැක.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-03-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks