01

E   |     |  

 දිනය: 2025-03-21   පිළිතුර ලබා දී ඇත 

0221/2025: ආරක්ෂිතව ගර්භිණීභාවය අවසන් කිරීම පිළිබඳ යෝජිත නීති: ක්‍රියාත්මක කිරීම

221/2024

ගරු අජිත් පී. පෙරේරා මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       “ආරක්ෂිතව ගර්භණීභාවය අවසන් කිරීම” සම්බන්ධයෙන් 2012 වර්ෂයේදී ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා “පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් ඉදිරිපත් කරන ලද පොරොන්දුව ඉටු කිරීම සඳහා මේ වනවිට ගෙන ඇති පියවර කවරේද;

(ii)  ඒ සම්බන්ධ නව නීති කඩිනමින් සම්පාදනය කිරීම ප්‍රමාදවීමට හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-21

අසන ලද්දේ

ගරු අජිත් පී. පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2013 වර්ෂයේදී ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කරන ලද "Safe Medical Termination of Pregnancy" සම්බන්ධ යෝජනාව මඟින් වෛද්‍ය හේතුන් මත ගර්භිණීභාවය අවසන් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහයේ දැනට පවතින විධිවිධාන පුළුල් කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කර ඇත.

                        ඒ අනුව, එවකට සිටි අධිකරණ අමාත්‍යවරයා විසින් ඊට අදාළව කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර කැබිනට් මණ්ඩලය විසින් 2017.01.17 වන දින හිටපු ජනාධිපතිතුමා විසින් ලබා දී ඇති නිරීක්ෂණවලට යටත්ව ඒ සඳහා අනුමැතිය ලබා දී ඇත. එකී නිරීක්ෂණවල සඳහන් වන්නේ යෝජිත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම්, ඊට පෙර අදාළ ආගමික නායකයින් සමඟ සාකච්ඡා කළ යුතු බවයි. ඒ අනුව ආගමික නායකයින් සමඟ පැවැති සාකච්ඡාවලදි බහුතරය ඊට විරුද්ධ වීම මත 2017 වර්ෂයේදී එකී ප්‍රයත්නය අසාර්ථක වී ඇත.

ඉන් අනතුරුව නැවත 2022 වර්ෂයේදී මේ සම්බන්ධව අධිකරණ අමාත්‍යාංශයේදී සාකච්ඡා පවත්වා ඇති අතර, එහිදී 1995 වර්ෂයේදී හා 2017 වර්ෂයේදී ද මෙම නීතිය සමාජගත කිරීමට දරන ලද ප්‍රයත්නයන් සහ එම ප්‍රයත්නයන් අසාර්ථක වී ඇති ආකාරය පිළිබඳව අවධානය යොමු කරන ලදී. තවද, මෙම සාකච්ඡාවේදී නැවතත් වෛද්‍ය හේතු මත ගර්භිණීභාවය අවසන් කිරීම සම්බන්ධව දැනට පවතින විධිවිධාන පුළුල් කිරීම සම්බන්ධව නීති හඳුන්වා දීම පිළිබඳව සාකච්ඡා පවත්වා ඇති අතර, එලෙස පුළුල් කිරීමෙන් වන සමාජයීය බලපෑම සම්බන්ධව ද විශේෂ අවධානයක් යොමු කර ඇත. තවද, එලෙස පුළුල් කළ හැකි අවස්ථා විශ්ලේෂණය කිරීමේ අවශ්‍යතාව ද එම සාකච්ඡා වලදී අවධානය යොමු කර ඇත. එමෙන්ම මෙම නීතිය පුළුල් කිරීමෙන් සිදු වන සමාජයීය බලපෑම සාධාරණීකරණය කිරීම සඳහා අදාළ වන දත්ත හා නිර්දේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කිරීමට තීරණය වී ඇත.

මෙම යෝජනාව වරින් වර පැවැති රජයන් නීතියට හඳුන්වා දීමට ගත් උත්සාහය විවිධ ආගමික නායකයන් හා සමාජයෙන් එල්ල වුණු විරෝධතා හේතුවෙන් අසාර්ථක වී ඇති බව අප පිළිගත යුතුය. මෙවැනි නීතියක් ගෙන එය පුළුල් ජනතා කතිකාවක් තුළින් ඉදිරිපත් කළ යුතු බවද නිරීක්ෂණය කරමි. මෙකී නිර්දේශ 2012දී එවකට පැවැති නීති කොමිෂන් සභා වාර්තාවක් මත පදනම්ව ඇති අතර, වර්තමානයේ වෙනත් රටවල නීති හා අන්තර්ජාතිකව පිළිගත් ක්‍රමවේදයන්ගේ වෙනස්වීම් තිබිය හැකිය. එබැවින්, මේ සම්බන්ධව නැවත නීති කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමටත්, ඒ අනුව ඉදිරි පියවර ගැනීමටත් අපේක්ෂා කෙරේ.

(ii) පුරා වසර 30ක කාලයක් තුළ විවිධ අවස්ථාවන්හිදී මෙම නීතිය සමාජගත කිරීමට දරන ප්‍රයත්න ව්‍යර්ථ වී ඇති පසුබිමක නැවත මෙම සංවේදී නීති රාමුව අප ජීවත් වන සමාජයට හඳුන්වා දීමට ගනු ලබන ප්‍රයත්නය, සමාජයීය ප්‍රතිරෝධය අවම වන පරිදි පුළුල්ව විශ්ලේෂණය කොට හඳුන්වා දීමේ අවශ්‍යතාව පෙන්වා දෙමි.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-03-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks