පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
212/2024
ගරු රෝහණ බංඩාර මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකා පොලිසියේ මේ වනවිට පවතින පුරප්පාඩු සංඛ්‍යාව එක් එක් තනතුර අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ශ්‍රී ලංකා පොලිසියේ උසස්වීම් ලබා දීම ඉතා මන්දගාමීව සිදු වන බව දන්නේද;
(iii) උසස්වීම් ලබා දීම කඩිනම් කිරීම සඳහා ගනු ලබන පියවර කවරේද;
(iv) පොලිස් නිලධාරින්ගේ වැටුප් සහ සුබසාධන පහසුකම් ඉහළ නැංවීම සඳහා ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-04-10
අසන ලද්දේ
ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පොලිස් කොස්තාපල් - සාමාන්‍ය සේවය - පුරප්පාඩු 17,966යි. පොලිස් කොස්තාපල් - විශේෂ කාර්ය බළකාය - පුරප්පාඩු 2,588යි.
කාන්තා පොලිස් කොස්තාපල් - සාමාන්‍ය සේවය - පුරප්පාඩු 4,043යි. කාන්තා පොලිස් කොස්තාපල් - විශේෂ කාර්ය බළකාය - පුරප්පාඩු 86යි.
පොලිස් කොස්තාපල් / රියදුරු - සාමාන්‍ය සේවය - පුරප්පාඩු 734යි. පොලිස් කොස්තාපල් / රියදුරු - විශේෂ කාර්ය බළකාය - පුරප්පාඩු 176යි.
උප පොලිස් පරීක්ෂක - සාමාන්‍ය සේවය - පුරප්පාඩු 357යි. උප පොලිස් පරීක්ෂක - විශේෂ කාර්ය බළකාය - පුරප්පාඩු 25යි.
කාන්තා උප පොලිස් පරීක්ෂක - සාමාන්‍ය සේවය - පුරප්පාඩු 63යි. කාන්තා උප පොලිස් පරීක්ෂක - විශේෂ කාර්ය බළකාය - පුරප්පාඩු නැත.
සහකාර පොලිස් අධිකාරි - සාමාන්‍ය සේවය - පුරප්පාඩු 7යි. සහකාර පොලිස් අධිකාරි - විශේෂ කාර්ය බළකාය - පුරප්පාඩු 2යි.
ඒ අනුව සාමාන්‍ය සේවයේ පුරප්පාඩු 23,170කුත්, විශේෂ කාර්ය බළකායේ පුරප්පාඩු 2,877කුත් වශයෙන් සමස්ත පොලිස් සේවයේ මේ වෙනකොට පුරප්පාඩු 26,047ක් තිබෙනවා.
ඊට අමතරව සහායක සේවා අංශයේ පුරප්පාඩු 1,821කුත් තිබෙනවා.
(ii) උසස්වීම් ලබා දීමේ යම් මන්දගාමී තත්ත්වයක් පවතිනවා. ඊට හේතුව වෙලා තිබෙන්නේ, උසස්වීම් සහ බඳවා ගැනීම් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 100කට වැඩි ප්‍රමාණයක් පවරා තිබීමයි. ඒ නිසා යම් ප්‍රමාදයක් තිබෙනවා. සහකාර පොලිස් අධිකාරි තනතුර සඳහා විවෘත තරග විභාගය පවත්වා, බඳවා ගැනීම්වලට අදාළ කටයුතු දැන් අවසන් අදියරේ තිබෙනවා. ඒ අනුව සහකාර පොලිස් අධිකාරිවරුන් 46දෙනෙකුත්, කාන්තා සහකාර පොලිස් අධිකාරිවරුන් 3දෙනෙකුත්, STF එක සඳහා සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකුත් ලබන මාසයේදී බඳවා ගන්න සියලු කටයුතු කරලා තිබෙනවා. එම කටයුතු අවසන් අදියරේ තිබෙන්නේ.
ශ්‍රී ලංකා පොලීසියේ විධායක සේවා ගණයේ එක් එක් තනතුරුවල පුරප්පාඩු ඇති වූ විටදී එම තනතුරුවලට අදාළව අනුමත බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටියේ සඳහන් පරිදි අදාළ සුදුසුකම් සපුරා ඇති නිලධරයන් උසස් කිරීම සිදු කරනු ලබයි. දැනට සාමාන්‍ය සේවයේ නිලධාරින් 5,612දෙනෙකුත්, STF එකේ 111දෙනෙකුත්, සහායක සේවාවල 217දෙනෙකුත් වශයෙන් 5,940දෙනෙක් උසස්වීම් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ උසස්වීම් ඉදිරියේදී ලබා දීමට පියවර ගන්නවා.
එම උසස්වීම් ලබා දෙන අවස්ථාවේදී සලකා බලන මූලික සුදුසුකම් විවිධ හේතු මත සපුරා ගැනීමට නොහැකි වූ ඉතිරි නිලධරයන් විසින් සුදුසුකම් සපුරා ගැනීමෙන් පසු ඔවුන්ට හිමි උසස්වීම් ලබා ගැනීම සඳහා අභියාචනා ඉදිරිපත් කළ පසු සුදුසුකම් පරීක්ෂා කර අදාළ පත්වීම් ලබා දීමට කටයුතු කරනවා.
(iii) ශ්‍රී ලංකා පොලීසියේ නියාමන සේවා ගණයේ තනතුරුවලට අදාළ බඳවා ගැනීමේ, උසස් කිරීමේ පරිපාටි ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් 2020.10.23 දින අනුමත කර ඇතත්, එම පරිපාටිවල හඳුනාගත් අඩුපාඩු සංශෝධනය කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බැවින්, එය අනුමත කර ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව උසස්වීම් ලබා දීම සඳහා ඉදිරියේදී කඩිනම් පියවර ගන්නවා.
(iv) · පොලිස් නිලධාරින්ගේ වැටුප් සහ සුබසාධන පහසුකම් ඉහළ නැංවීම සඳහා 2025 අය වැය මඟින් සහ පොලිස් ත්‍යාග අරමුදල මඟින් පහත පරිදි ප්‍රතිපාදන වෙන් කර ඇත.
* ආහාර හා නිල ඇඳුම් පහසුකම් වෙනුවෙන් රුපියල් මිලියන 5,500ක් වෙන් කර තිබෙනවා.
* පොලිස් ස්ථානවල පවතින පහත සඳහන් ගොඩනැගිලි අඩුපාඩු සම්පූර්ණ කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම, විවේකාගාර සහ බැරැක්ක ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 285ක්, නිල නිවාස ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 30ක් ඇතුළුව පොලිස් ස්ථාන සහ පවතින වෙනත් ගොඩනැගිලි අවශ්‍යතා සම්පූර්ණ කිරීම සඳහා රුපියල් මිලියන 1,300ක් වෙන් කර තිබෙනවා.
* පවතින ගොඩනැඟිලිවල අඩුපාඩු සකස් කිරීම හා වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 1,500ක් වෙන් කර ඇති අතර, එම ගොඩනැගිලි නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කර තිබෙනවා.
* අමතර වශයෙන්, ත්‍යාග අරමුදලේ 2025 වර්ෂය සඳහා වූ වියදම් ඇස්තමේන්තුව තුළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ හා ඉන් පහළ ශ්‍රේණිවල නිලධාරින්ගේ විවාහක නිල නිවාස, බැරැක්ක හා භෝජනාගාර ඉදිකිරීම හා අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 1,000ක ප්‍රතිපාදන වෙන් කර තිබෙන අතර, පොලිස් නිලධාරින්ට අවශ්‍ය සුබසාධන පහසුකම් සැලසීම වෙනුවෙන් රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-04-10
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks