පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
116/2024
ගරු චමින්ද විජේසිරි මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) පසුගිය යහපාලන රජය සමයේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වංචාවක් සම්බන්ධයෙන් සමාජයේ විශාල කතිකාවක් ඇතිවූ බව දන්නේද;
(ii) ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මඟින් චෝදනා එල්ල කරන ලද පුද්ගලයන්ගේ නම් හා තනතුරු කවරේද;
(iii) එම බැඳුම්කර වංචාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සිදුවූ බලපෑම කවරේද;
(iv) එම බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-08-19
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍ය කාර්යාලය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මඟින් කරන ලද නිර්දේශයන් ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුර විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව, පහත සඳහන් ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කර ඇත.
1. පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ්
2. සන්ද්‍රේශ් රවීන්ද්‍ර කරුණානායක - හිටපු මුදල් අමාත්‍ය
3. ලක්ෂ්මන් අර්ජුන මහේන්ද්‍රන් - හිටපු අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව
4. පත්තිනිගේ සමරසිරි - හිටපු නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව
5. අර්ජුන් ජෝශප් ඇලෝෂියස්
6. පළිසේන අප්පුහාමිලාගේ දොන් කසුන් ඕෂධී පළිසේන
7. ජෙෆ්රි ජෝශප් ඇලෝෂියස්
8. චිත්ත රන්ජන් හුළුගල්ල
9. මුත්තුරාජා සුරේන්ද්‍රන්
10. අජාන් ගාර්දියේ පුංචිහේවා
11. බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර - ප්‍රධාන අළෙවිකරු, ඉදිරි කාර්යාලය, සේවක අර්ථසාධක අරමුදල
12. සංගරපිල්ලේ පදුමනාපන් - ජ්‍යෙෂ්ඨ කළමනාකරු, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව
(iii) ආර්ථිකයට සිදු වූ බලපෑම තවමත් විමර්ශනය කරමින් පවතී. අවුරුදු 10ක් ගත වුවද, මේ පිළිබඳව විමර්ශනයක් සිදු කර නොමැත. මේ පිළිබඳ පූර්ණ තක්සේරුවක් අදාළ විමර්ශනයෙන් පසුව හෙළිදරව් වනු ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම බැඳුම්කර වංචාව හේතුවෙන් ආර්ථිකයට සිදු වූ බලපෑම විශේෂිතව ගණනය කර නොමැත. එසේ වුවද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිවෙළින් මහ බැංකු අරමුදල් විෂයෙහි රු.78,109,050.69ක් සහ සේවක අර්ථසාධක අරමුදල විෂයෙහි රු.6,989,277,943.63ක් ද වශයෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් ලිමිටඩ් විසින් සිදු කරනු ලැබූ අලාභය අය කර ගැනීම සඳහා කොළඹ දිසා අධිකරණයේදී DMR 1547/2018 සහ DMR 1764/2018 යන නඩු පවරා ඇත.
(iv) නීතිපතිවරයාගේ අංක CF/31/2016 හා 2025.09.11 දිනැති ලිපිය අනුව 2015.02.27 වන දින සිදු වූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අංක PTB/01/05/2019 දරන අධිචෝදනා පත්‍රයෙන් චූදිතයන් 10දෙනෙකුට විරුද්ධව ද, 2016.03.29 දින සිදු වූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අංක HC TAB 2445/21 දරන අධිචෝදනා පත්‍රයෙන් චූදිතයන් 11දෙනෙකුට විරුද්ධව ද, 2016.03.31 වන දින සිදු වූ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අංක HC TAB/2446/21 දරන අධිචෝදනා පත්‍රයෙන් චූදිතයන් 10දෙනෙකුට විරුද්ධව ද ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ නඩු පවරා ඇත.
ඉහත අධිචෝදනාවන්හි ඇතුළත් පොදු දේපළ යටතේ වන චෝදනාවන් සම්බන්ධයෙන් චූදිතයන්ගේ මූලික විරෝධතා සලකා එම චෝදනාවලින් චූදිතයන් නිදහස් කරන ලෙසට ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ලබා දුන් නියෝග ප්‍රතිශෝධනය කරවා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව විසින් අංක CA/CPA/34/22, CA/CPA/135/21 හා CA/CPA/154/22 දරන ප්‍රතිශෝධන අයදුම්පත් අභියාචනාධිකරණයේ ගොනු කර ඇති අතර, එම අධිකරණය විසින් එම අයදුම්පත් නිෂ්ප්‍රභ කිරීම හේතුවෙන් ඊට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ SC SPL/LA/135/22, SC APP/161/23 දරන ඉල්ලුම් පත්‍ර ගොනු කර ඇති අතර, එකී ඉල්ලුම් පත්‍ර ඉදිරියට ගෙන යෑම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී ඇත.
ඉහත සඳහන් අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ නීති කෘත්‍යයන් හේතුවෙන් 2019 වර්ෂයේ ගොනු කරන ලද අධිචෝදනා පත්‍ර සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල මහාධිකරණයන්හි පවතින නඩු කටයුතු මේ වන විට බහා තබා ඇත.
ඊට අමතරව අංක HC TAB/2445/21 සහ HC TAB/2446/21 දරන නඩු දෙකෙහි චූදිතයෙකු වන සංදේශ් රවීන්ද්‍ර කරුණානායක විසින් ඔහු චූදිතයෙකු ලෙස නම් කිරීම සම්බන්ධයෙන් අංක CA Writ/441/21 හා Writ/442/21 යන රිට් අයදුම්පත් අධිකරණයේ ගොනු කිරීමෙන් පසු පෙත්සම්කරු චූදිතයෙකු වශයෙන් නම් කිරීමට ගත් තීරණය රිට් ආඥාවක් මඟින් අහෝසි කරන ලද අතර, ඊට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අංක SC SPL LA 102/23 හා SC APP/103/24 යන නීති කෘත්‍යය ආරම්භ කර ඇත. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉහත අභියාචනාධිකරණ නියෝග නිශ්ප්‍රභ කර ඇත. ඒ අනුව මහාධිකරණ නඩුව යළි ආරම්භ කිරීමට නියමිතයි.
තවද, ත්‍රිපුද්ගල මහාධිකරණයන් ඉදිරියේ ගොනු කර ඇති අධිචෝදනා පත්‍රයන්හි චූදිතයෙකු වන මුත්තයියා සුරේන්ද්‍රන් යන අය විසින් CA Writ/582/2022, CA Writ/583/2022 හා CA Writ/584/2022 යන නඩු ගොනු කර ඇති අතර, එම නඩු අභියාචනාධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතී.
එසේම, ඉහත බැඳුම්කර නිකුතුවල සිදු වී ඇති වංචාවල ප්‍රතිඵලයක් වශයෙන් උපයන ලද ලාභවලට අදාළව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන සිදු කරමින් පවතී.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කොළඹ දිසා අධිකරණයේ දී DMR 1547/2018 සහ DMR 1764/2018 යන නඩු පවරා ඇත. ඉහත නඩුකර ද්විත්වයට අමතරව පහත සඳහන් ආයතන විසින් ද පර්පෙචුවල් ට්‍රෙෂරිස් ලිමිටඩ් ආයතනයට එරෙහිව කොළඹ දිසා අධිකරණයේ දී මුදල් අය කර ගැනීමේ නඩු පවරා ඇති අතර, එම නඩුකර ද මේ වන විට විභාග වෙමින් පවතී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-11-26
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks