04

E   |     |  

 දිනය: 2025-03-12   පිළිතුර ලබා දී ඇත 

0092/2025: පොල් හිඟය: අවම කිරීමට ගත් පියවර

92/2024

ගරු චමින්ද වි‍ජේසිරි මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකාවේ වෙළඳපොළේ මේ වනවිට පොල් හිඟයක් පවතින බව දන්නේද;

             (ii)       මෑතකදී හඳුන්වා දෙන ලද, උතුරු පළාත කේන්ද්‍ර කරගත් නව පොල් ත්‍රිකෝණය හරහා ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනයට ලැබී ඇති දායකත්වය කවරේද;

(iii) ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් පරිභෝජනය කොපමණද;

(iv) පොල් හිඟය අවම කිරීම සඳහා ගෙන ඇති පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-03-12

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)       ඔව්.

              (ii)      මෙම ව්‍යාපෘතිය 2023 වර්ෂයේ දී උතුරු පළාත කේන්ද්‍ර කරගෙන ආරම්භ කරන ලදී. ඒ අනුව මේ වන විට පොල් අක්කර 10,000ක, එනම් පොල් පැළ 640,000ක් පමණ වගා කර ඇත. 2025 වසරේදී මෙම ව්‍යාපෘතිය යටතේ අක්කර 16,000ක් වගා කරනු ලබන අතර, ව්‍යාපෘතියේ සමස්ත ඉලක්කය 2027 වර්ෂය වන විට උතුරු පළාතේ පොල් අක්කර 50,000ක් වගා කිරීම වේ. ඒ අනුව 2030 වන විට උතුරු පොල් ත්‍රිකෝණය තුළින් ජාතික පොල් නිෂ්පාදනයට දායකත්වය ලබා ගැනීමට අපේක්ෂා කෙරේ.

ව්‍යාපෘතියේ අපේක්ෂිත අරමුණු:

i. වාර්ෂික පොල් අස්වැන්න ගෙඩි මිලියන 135කට ආසන්න ප්‍රමාණයකින් වැඩි කිරීම.

ii. ආහාර සුරක්ෂිතතාව ඉහළ නංවමින් දේශීය ගෘහස්ථ පරිභෝජනයට අවශ්‍ය පොල් සැපයුම සහතික කිරීම.

iii. පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කිරීමෙන් ලැබෙන ආදායම වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් මිලියන 70ක් ඉහළ නැංවීම.

iv. පොල් මඟින් උපයන ආදායම වැඩි කිරීම තුළින් උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම.

v. පොල් ආශ්‍රිත කර්මාන්ත මෙම ප්‍රදේශ තුළ ස්ථාපනය කිරීම. ඒ සඳහා දේශීය හා විදේශීය ආයෝජකයන්ට අවස්ථාව ලබා දීම.

vi. පොල් ඉඩම්වල අතුරු භෝග වගාව ප්‍රවර්ධනය හා ඒ තුළින් පොල් ඉඩම්වල ඵලදායීතාව ඉහළ නැංවීම.

(iii) මෙරට සාමාන්‍ය වාර්ෂික පොල් අස්වැන්න ගෙඩි මිලියන 3,000ක් පමණ වේ. ඉන් ගෙඩි මිලියන 1,800ත් 1,900ත් අතර ප්‍රමාණයක් (සියයට 60) දේශීයව පරිභෝජනය කරනු ලබන අතර, ගෙඩි මිලියන 1,100ත් 1,200ත් අතර ප්‍රමාණයක් (සියයට 40) පොල් ආශ්‍රිත කර්මාන්ත සඳහා යොදා ගැනේ.

(iv) අප අමාත්‍යාංශය විසින් පොල් වගාවේ සහ කර්මාන්තයන්ගේ ඵලදායීතාව, නිෂ්පාදනය හා ගුණාත්මකභාවය ඉහළ නංවමින් සමස්ත අගයදාමය සංවර්ධනය කිරීම සඳහා පහත වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරමින් පවතී.

කෙටි කාලීන ක්‍රියාමාර්ග

  • දේශීය පොල් ඵලදාව අඩු වීම හා ඉල්ලුම ඉහළ යාමත් සමඟ පොල් මිල ඉහළ යාම නිසා දේශීය පාරිභෝගිකයාට සහ පොල් මද ආශ්‍රිත කර්මාන්ත සඳහා සිදු වන බලපෑම අවම කිරීම සඳහා, පොල් මද ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තායතන වෙත ඍජුවම ශීත කළ පොල් මද, පොල් කිරි/පිටි කළ පොල් කිරි, දීසිඳි පොල් ප්‍රතිඅපනයනය සඳහා බදු විරාම පදනම (TIEP) මත, පොල් ගෙඩි මිලියන 200කට සමාන ධාරිතාවකින් යුත් ප්‍රමාණයක් ආනයනය කිරීමට අවසර   ලබා දීම
  • පොල් ඵලදාව අඩු වීම හේතුවෙන් දේශීය පොල්තෙල් කර්මාන්තයට සිදු වන බලපෑම අවම කිරීම සඳහා, පොල්තෙල් නිෂ්පාදකයන්ට පොල් සංවර්ධන අධිකාරියේ නියාමනය යටතේ කැබලි කර වියළන ලද කුරුට්ට සහිත පොල් (කොප්පරා නොවන) ඍජුවම හෝ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව (STC) හරහා ආනයනයට අවසර ලබා දීම
  • ලෝක ආහාර වැඩසටහන යටතේ රුසියානු රජයේ ප්‍රදානයක් ලෙස ලද මියුරියේට් ඔෆ් පොටෑෂ් (MOP) පොහොර මෙට්‍රික්ටොන් 27,500ක ප්‍රමාණය, APM(W) පොල් පොහොර මිශ්‍රණයක් ලෙස සකස් කර අක්කර 300,000ක භූමි ප්‍රමාණයක් සඳහා, APM(W) 50kg පොහොර බෑගයක් රුපියල් 4,000.00 වැනි සහන මිලකට බෙදා හැරීමට පියවර ගැනීම
  • පොල් වගාව සඳහා පොල් පර්යේෂණ ආයතනයේ නිර්දේශයන්ට අනුව කාබනික පොහොර යෙදීමට හා නිෂ්පාදනය කිරීමට වගාකරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
  • පොල් වගාවේ රෝග හා පළිබෝධ පාලන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. එහිදී, සහනදායී මිලට යෙදවුම් ලබා දීමත්, රෝග හා පළිබෝධ පාලනය හා වැළැක්වීම සඳහා ගත යුතු පියවර පිළිබඳ ගොවීන් දැනුවත් කිරීම
  • පොල් වගාවේ තාක්ෂණික කටයුතු පිළිබඳ ව්‍යාප්ති දැනුම ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය මඟින් පොල් වගාකරුවාට ලැබීමට සැලැස්වීම
  • ගෙවතුවල පවතින පොල් ගස්, පුනරුත්ථාපනය කර ගෘහස්ථ පරිභෝජනයට අවශ්‍ය පොල් ගෙවත්තෙන් සපුරා ගැනීම සඳහා පාරිභෝගිකයන් යොමු කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • පවතින පොල් ඉඩම්වල ජල සම්පාදන පද්ධති ඉදිකිරීම තුළින් කෙටිකාලීනව පොල් අස්වැන්න ඉහළ නංවා ගැනීම
  • ගෘහස්ථ පරිභෝජනයේ දී සිදු වන පොල් නාස්තිය අවම කිරීම සඳහා පොල් සංවර්ධන අධිකාරිය හරහා මහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • රජය සතු පොල් ඉඩම් මඟින් (පොල් වගා කිරීමේ මණ්ඩලය, හලාවත වැවිලි සමාගම, කුරුණෑගල වැවිලි සමාගම, පොල් පර්යේෂණ ආයතනය) සමුපකාර තොග වෙළඳ සංස්ථාව (ලංකා සතොස) හරහා සහ ඍජුවම පාරිභෝගිකයාට සහන මිලට පොල් ලබා දීම

 

මධ්‍යකාලීන ක්‍රියාමාර්ග

 

  • පවතින පොල් ඉඩම් පුනරුත්ථාපනය කිරීමට අවශ්‍ය පියවර ගැනීම
  • වයස්ගත පොල් ගස් වෙනුවට නව පොල් පැළ පොල් ඉඩම්වල රෝපණය කිරීම, හිඩැස් පිරවීම
  • ප්‍රශස්ත ඵලදායී භූමි පරිභෝජනයක් හා ඉහළ ආර්ථික ප්‍රතිලාභ උදෙසා පොල් ආශ්‍රිත අපනයන කෘෂි භෝග අතුරු භෝග වගා ප්‍රදර්ශනාත්මක ආදර්ශන ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම
  • රෝග පළිබෝධ පාලන වැඩසටහනට අදාළව පහත ක්‍රියාමාර්ග ගැනීම
    • සහනදායී මිලට මයිටා පරපෝෂිත පැකට් ලබා දීම, මයිටා පාලනය සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලයට අයත් ප්‍රාදේශීය කාර්යාල බල ප්‍රදේශයම ආවරණය වන පරිදි වගාකරුවන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම
    • සුදු මැස්සා මර්දනය සඳහා දියර ඉසින යන්ත්‍ර අවශ්‍ය අවස්ථාවලදී නොමිලේ භාවිත කිරීමට වගාකරුවන්ට අවස්ථාව ලබා දීම
    • රතු/කළු කුරුමිණි පෙරමෝන වයල් සහනදායී මිලට ලබා දීම හා ඒකාබද්ධ රතු හා කළු කුරුමිණි පාලන වැඩසටහන් පැවැත්වීම. රතු කුරුමිණි පාලනය සඳහා මොනක්‍රොටපස් එන්නත් කිරීම
    • පොල් දළඹු පරපෝෂි නළ සහනදායී මිලට ලබා දීම
    • බ්‍රොන්ටිස්පා පාලනය සඳහා රෝගී ගස් හඳුනා ගැනීම හා එන්නත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
    • වැලිගම කොළ මැළවීමේ රෝග මර්දනය සඳහා රෝගී කලාපය තුළ හඳුනාගත් රෝගී ගස් එන්නත් කිරීම හා ඉවත් කිරීම
    • රෝග හා පළිබෝධක මර්දන වැඩසටහන් ප්‍රාදේශීය කාර්යාල මට්ටමින් ක්‍රියාත්මක කිරීම
    • පොල් වගාවේ ඇති වන හදිසි තත්ත්වයන් පාලනය සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයක් පිහිටුවා එමඟින් පාලන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

 

දීර්ඝ කාලීන ක්‍රියාමාර්ග

  • රට තුළ ඵලදායී පොල් ගස් ගණනක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සහිතව සාම්ප්‍රදායික නොවන ප්‍රදේශවල පොල් වගාව ව්‍යාප්ත කිරීම - උතුරු පොල් ත්‍රිකෝණය තුළ ඉදිරි වර්ෂ 3ක කාලසීමාව ඇතුළත (2025-2027) පොල් වගා කිරීමට අපේක්ෂිත මුළු භූමි ප්‍රමාණය අක්කර 40,000ක් පමණ වේ.
  • පොල් ක්ෂේත්‍රයේ නියැළෙන කර්මාන්තකරුවන් සඳහා පොල් සංවර්ධන අධිකාරිය  (කප්රුක ජය ඉසුර ණය යෝජනා ක්‍රමය වැනි) හා කප්රුක අරමුදල මඟින් ක්‍රියාත්මක සහනදායී ණය යෝජනා ක්‍රම හරහා අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබා දීම
  • 2030 වන විට රටෙහි පොල් අවශ්‍යතාව වන ගෙඩි මිලියන 4,200ක් සැපයීම සහ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,500ක් දක්වා ඉහළ නැංවීම ප්‍රධාන අරමුණු කර අප අමාත්‍යාංශය මඟින්, එක්සත් ජාතීන්ගේ කර්මාන්ත සංවර්ධන සංවිධානය (UNIDO) සමඟ ක්ෂේත්‍රයේ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් පොල් ක්ෂේත්‍රය සඳහා දස අවුරුදු මාර්ග සැලැස්මක් හා පස් අවුරුදු උපාය මාර්ගික සැලැස්මක් සකස් කරමින් පවතී.
  • පොල් ඵලදාව ඉහළ නැංවීම සඳහා පොල් වගා කරන භූමි තුළ තෙතමන සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම
  • පොල් අස්වැන්නට වනසතුන්ගෙන් සිදු වන හානිය වළක්වා ලීම සඳහා අදාළ ආයතන සම්බන්ධීකරණයෙන් පොදු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
  • ගෘහස්ථ පරිභෝජනයට අවශ්‍ය පොල් අවශ්‍යතාව ගෙවත්තෙන් සපුරා ගැනීම සඳහා ගෙවතු පොල් වගා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2025-03-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks