පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2024-12-17
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) මේ සඳහා විස්තරයක් තිබෙනවා. එහි සාරාංශය මම මේ ගරු සභාවට ඉදිරිපත් කරන්නම්. ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා විමසලා තිබෙන්නේ සුදුලූනු වංචාව පිළිබඳ නඩුවට මොකක්ද වෙලා තිබෙන්නේ සහ ඒ සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද කියලා.
ගරු කථානායකතුමනි, 2021 වර්ෂයේ නවවන මාසයේදී අඩි 40 කන්ටේනර් දෙකක තිබුණු සුදුලූනු ප්‍රමාණයක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් අත්අඩංගුවට ගන්නවා. වරාය අධිකාරිය ඒවා සතොසට ලබා දෙන්න තීරණය කරනවා. එහි සුදුලූනු කිලෝ 54,860ක් තිබෙනවා. ඒ කිලෝ එකක් රුපියල් 110ක මිලකට සතොසට ලබා දෙන්න තීරණය කරනවා. ඒ වෙලාවේ ඒ කිලෝ 54,860ක ප්‍රමාණය කිලෝ එකක් රුපියල් 110ක් ලෙස සතොසට ගන්න කොට සතොසේ සුදුලූනු කිලෝ එකක මිල රුපියල් 355යි. ඒක තමයි මේ ප්‍රශ්නයට හේතුව වෙන්නේ. එදා දවසේම වරායෙන් මේ භාණ්ඩ ටික නිදහස් කරගෙන ගිහිල්ලා වැලිසර ගබඩාවට අරගෙන යනකොට එහි නිලධාරින් සහ බලධාරින් සියලුදෙනා එකතු වෙලා ඒ කන්ටේනර් පෙට්ටි දෙකේම තිබෙන සුදුලූනු කිලෝ 54,860ම සතොසටම බඩු සපයන සැපයුම්කරුවෙකුට විකුණනවා, රුපියල් 135 ගණනේ. ගරු මන්ත්‍රීතුමනි, ගණන් හදලා බැලුවොත්, ඒ මොහොතේ සතොසට රුපියල් ලක්ෂ 120ක පමණ පාඩුවක් සිදු වෙනවා.
ගරු කථානායකතුමනි, ඒ පිළිබඳ විමර්ශන වාර්තා ගරු මන්ත්‍රීතුමන්ලාගේ දැනගැනීම සඳහා සභාගත කරන්න මම බලාපොරොත්තු වෙනවා.
සතොස විසින් මූලික පරීක්ෂණය සිදු කර තිබෙනවා. හයදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඊට අමතරව, වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයේ මේ පිළිබඳව නඩුවක් විභාග වෙනවා. චෝදනා ගොනු කිරීම සඳහා මේ නඩුවට අදාළ කරුණු නීතිපතිවරයාට යොමු කරලා තිබෙනවා. ඒ අනුව එම ක්‍රියාමාර්ග ඇතුළේ නීතිපතිවරයාගෙන් උපදෙස් ලද වහාම නඩු කටයුත්ත ඉස්සරහට යන එක සම්බන්ධයෙන් තීරණය වෙනවා. සතොස පැත්තෙන් මීට සම්බන්ධ නිලධාරින් සියලු දෙනාට අදාළ විනය ක්‍රියා මාර්ග ගෙන තිබෙනවා. පිළිතුරෙහි සාරාංශය තමයි මම මේ ඉදිරිපත් කළේ. ගරු කථානායකතුමනි, මම මේ අවස්ථාවේදී එම පිළිතුරෙහි ඉතිරි කොටස සභාගත* කරනවා.
* සභාමේසය මත තබන ලද පිළිතුරේ ඉතිරි කොටස:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடையின் எஞ்சிய பகுதி:
* The rest of the Answer tabled:
(iii) ශ්‍රී ලංකා වරාය අධිකාරිය භාරයට ගෙන තිබූ සුදු ලූනු තොගයක් ලංකා සතොස ආයතනය විසින් මිලට ගෙන බාහිර පාර්ශ්වයකට ලබා දීම පිළිබඳව එවකට ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජේ. ක්‍රිෂ්ණමූර්ති යන අයගේ සභාපතිත්වයෙන් යුත් වෙළෙඳ අමාත්‍යාංශයේ ප්‍රධාන ගණකාධිකාරි නෙලුකා පටබැඳිගේ හා වෙළෙඳ අමාත්‍යාංශයේ සහකාර ලේකම් ඊ.ඒ. ඒකනායක යන අයගෙන් යුක්ත කමිටුවක් මඟින් මූලික විමර්ශන සිදු කර ඇත.
(ඊට අදාළ මූලික විමර්ශන වාර්තාවේ නිර්දේශ සහිත කොටස ඇමුණුම 01** ලෙස දක්වා ඇත.)
ඊට අමතරව, මෙම වංචාවට අදාළව ලංකා සතොස ආයතනය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කොට අධිකරණයේ නඩුවක් ගොනු කර එකී නඩුව විභාග වී ඇත.
නඩුව විභාග වෙමින් පවතින අතරතුර ඒ සම්බන්ධයෙන් මහාධිකරණය වෙත ඉදිරිපත් කළ හැකි චෝදනා ඇති බව සඳහන් කරමින් ගරු විනිසුරුතුමන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇත්තේ ඒ සම්බන්ධව නීතිපති මතය ලබා ගන්නා ලෙසයි.
ඒ අනුව මහාධිකරණය වෙත මේ සිද්ධියට අදාළව කරුණු වාර්තා කිරීම සඳහා දැනට නීතිපති දෙපාර්තමේන්තුවේ ඒ සම්බන්ධ කටයුතු සිදු වෙමින් පවතී. ඊට අමතරව, ලංකා සතොස ආයතනය විසින් මීට සම්බන්ධ නිලධාරින් සඳහා ආයතනික මට්ටමින් මූලික විමර්ශනයක් 2021.09.13 වන දින පවත්වා ඇත.
(එකී මූලික විමර්ශන වාර්තාවේ පිටපතක් ඇමුණුම 02** ලෙස දක්වා ඇත.)
තවද, මීට අදාළව මානව සම්පත් අංශය මඟින් අදාළ නිලධාරින්ට එරෙහිව අභ්‍යන්තර විනය පරීක්ෂණයක් ආරම්භ කොට දැනට එය පවත්වාගෙන යනු ලබයි. (එය අවසන් වී නැත.)
(iv) වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර විභාග වූ නඩුවේ චූදිත පාර්ශ්වයන් වශයෙන්,
එමෙන්ම, අමාත්‍යාංශ මැදිහත්වීම මත සිදු කරන ලද මූලික විමර්ශනයේදී ආයතනය සම්බන්ධ නිලධාරින් රාශියකගේ ප්‍රකාශ සටහන් කිරීමක් විස්තර කර ඇත. දැනට නීතිපති දෙපාර්තමේන්තුව මඟින් මහාධිකරණ නඩුව ගොනු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින හෙයින්, වංචාව සම්බන්ධයෙන් නිශ්චිත වශයෙන්ම සම්බන්ධ පුද්ගලයන් කවුරුන්ද යන්න තහවුරු කිරීමක් මේ අවස්ථාවේ සිදු කළ නොහැකි බව දන්වමි.
ඊට අමතරව, මෙම සිද්ධියට අදාළව බාහිර පාර්ශ්වයන් වශයෙන් සුදු ලූනු මිල දී ගත් සොනාල් බ්‍රදර්ස් පෞද්ගලික සමාගමේ නිලධාරින් ද, අධිකරණමය කටයුතුවලදී විත්තිකරුවන් වශයෙන් නම් කර ඇති බව ආයතනික වශයෙන් ලබා දුන් ලේඛනවලදී පැහැදිලි වේ.
(ඒ බව තහවුරු කිරීම සඳහා වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ අංක: B 2909/2 දරන නඩුවේ කාර්ය සටහනක පිටපතක් ඇමුණුම 03** ලෙස දක්වා ඇත.)
(v) වරාය අධිකාරිය මඟින් කන්ටේනර් බහලුම් දෙකක ගබඩා කර තිබූ කිලෝග්‍රෑම් 56,000කට ආසන්න සුදු ලූනු තොගයක් ඒ අවස්ථාවේ වරාය අධිකාරිය මඟින් රුපියල් 105.00ක මිලට යටත්ව ලබාගෙන ඇති අතර, එය ලංකා සතොස ආයතනය විසින් බාහිර සැපයුම්කරුවෙකු වෙත එය තොග වශයෙන් කිලෝග්‍රෑම් එකක් රුපියල් 135.00ක මුදලකට විකිණීම් කර ඇත.
ඒ අනුව ඒ අවස්ථාවේ වියළුම් බර අතහැර කිලෝග්‍රෑම් 54,860ක ප්‍රමාණයක් රුපියල් 135.00 බැගින් මිල නියම කර රුපියල් 7,401,600.00ක (රුපියල් මිලියන 7.4ක) දළ ආදායමක් උපයාගෙන ඇති බව එවකට පවත්නා ලේඛන පරීක්ෂා කිරීමේදී පෙනී යයි.
කෙසේ වෙතත්, ඒ අවස්ථාවේ පරිගණක පද්ධතිවල වෙළෙඳ පොළේ පවත්නා සුදු ලූනුවල වටිනාකම ලෙස සඳහන්ව ඇත්තේ කිලෝග්‍රෑම් එකක් රුපියල් 355.00ක් ලෙසයි. ඒ අනුව කිලෝග්‍රෑම් එකක් රුපියල් 355.00 බැගින් එම සුදු ලූනු තොගය විකුණා ලබා ගැනීමට තිබූ ආදායම අහිමි වී ගොස් ඇති බව ද සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇත.
(vi) ආයතනික මට්ටමින් මෙයට සම්බන්ධ වී ඇති සියලු දෙනාට අවශ්‍ය විනය ක්‍රියා මාර්ග ගැනීම පවත්වන ලද මූලික විමර්ශන පදනම් කර ගනිමින් සිදු කර ඇත. ඊට අමතරව, අධිකරණමය කටයුතු සිදු කර, දැනට ඊට සම්බන්ධ කිසිදු නිලධාරියෙකු ආයතනය තුළ සේවය නොකරන බව දන්වනු කැමැත්තෙමි. තවද, නීතිපති දෙපාර්තමේන්තුව විසින් මහාධිකරණය වෙත කරුණු ගොනු කිරීමෙන් අනතුරුව අධිකරණය මඟින් ලබා දෙන තීන්දුව මත අවශ්‍ය ඉදිරි කටයුතු කරන බව වැඩිදුරටත් දන්වමි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2024-12-17
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වසන්ත සමරසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks