01

E   |     |  

 දිනය: 2025-10-09   පිළිතුර ලබා දී ඇත 

0018/2025: සිමෙන්ති සංස්ථාව සතු කන්කසන්තුරේ පිහිටි තෙල් ටැංකි දෙක සහ නළ පද්ධතිය: ‍‍විස්තර

18/2024

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා,— කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව සතුව කන්කසන්තුරේ පිහිටා ඇති තෙල් ටැංකි දෙකක් සහ නළ පද්ධතියක් තිබෙන බව දන්නේද;

             (ii)       එම තෙල් ටැංකි දෙක හා නළ පද්ධතිය භාවිතා කරන ලද රජයේ ආයතනය කවරේද;

(iii) එම තෙල් ටැංකි දෙක හා නළ පද්ධතිය භාවිතා කිරීම වෙනුවෙන් සිමෙන්ති සංස්ථාවට අය විය යුතු මුදල කොපමණද;

(iv) එම මුදල අය කර ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-10-09

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.  ඒ පිළිබඳව අපි දැනුවත්.

              (ii)      ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම.

                        මුලින්ම ඛනිජ තෙල් සමාගම. ඊ‍ට පස්සේ තොග ගබඩා පර්යන්ත සමාගම.

             (iii)      2025.07.31 දිනට අයවිය යුතු මුදල රු. 244,450,000කි.

             (iv)       ඉහත මුදල් අයකර ගැනීම සම්බන්ධව 2016 වර්ෂයේ සිට සාකච්ඡා වට 6ක් පවත්වා ඇත. මෙම සාකච්ඡා සඳහා මුදල් අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යාංශය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, ලංකා ඛනිජ ‍තෙල් නීතිගත සංස්ථාව, ලංකා තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම හා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව යන ආයතන නි‍යෝජනය කරමින් නිලධාරින් සහභාගි වී ඇත.

කර්මාන්ත අමාත්‍යාංශය 2016 ඉඳලා මේ සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා පවත්වා කැබිනට් තීරණ සහ යෝජනා ඉදිරිපත් කරලා තිබෙනවා. නමුත් ඉඩමේ ප්‍රශ්නයක් නිසා ඒ සේවාවට අවශ්‍ය කරන මුදල ගෙවීම පැහැර හැර තිබෙනවා, ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම.

තවද, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසින් 2016.09.13 දිනැතිව ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය ලබා දුන් අංක. අමප/16/1891/746/001-1 හා 2016.10.11 දිනැති තීරණය මඟින් පහත සඳහන් යෝජනාව සඳහා අනුමැතිය ලබා දී ඇත.

කන්කසන්තුරේ පිහිටා ඇති ඉන්ධන ගබඩා ටැංකි, නළ මාර්ග සහ ඊට සම්බන්ධ පහසුකම් සහිත අක්කර 6ක පමණ විශාලත්වයෙන් යුක්ත ඉඩම් කොටසේ අයිතිය පිළිබඳව නීතිමය ගැටලුවක් පවතින බැවින් මෙම තත්ත්වය නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව කිසියම් ගෙවීමක් 2010-2015 දක්වා කාලය වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිමෙන්ති සංස්ථාවට ගෙවිය යුතු නම් එපරිද්දෙන්ම එම ගෙවීම සිදු කිරීම.

  කෙසේ වෙතත්, තෙල් ටැංකි පිහිටි ඉඩමේ අයිතිය තහවුරු නොවන බව පෙන්වා දෙමින් ඉහත මුදල් ලංකා ඛනිජ ‍තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් මෙතෙක් ගෙවා නොමැත. නමුත් ඉහත සඳහන් තෙල් ටැංකි සහ නළ පද්ධතිය ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව විසින් ඉදිකර ඇති බැවින් එම තෙල් ටැංකි භාවිත කිරීම වෙනුවෙන් ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව වෙත ගෙවීමක් කළ යුතු බව නිරීක්ෂණය වෙලා තිබෙනවා. ගරු මන්ත්‍රීතුමනි, ‍වර්තමාන රජය බලයට පත් වුණාට පසුව ආයතන ආයතන අතර ගැටලුවක් තිබුණු නිසා මේක ප්‍රමුඛතා ලැයිස්තුවේ ටිකක් පහළින් තිබුණු එකක්. 2025 ඔක්තෝබර් 24වැනි දා අපේ ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් කැඳවා තිබෙනවා, මේ ප්‍රශ්නය නිරාකරණය කර ගන්නේ කොහොමද කියලා විමසන්න. එම නිසා මේ මුදල අය කර නොගැනීමට අපට අදහසක් නැහැ.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-10-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු චතුරංග අබේසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks