01

E   |     |  

 දිනය: 2013-06-20   පිළිතුර ලබා දී ඇත 

2569/2013: බුලත්සිංහල වතුරාන වනාන්තරය : විනාශය

2569/’12

 

ගරු සජිත් ප්‍රේමදාස මහතා,— පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)‍      2009 වර්ෂයේ දී අති විශේෂ ගැසට් නි‍වේදනයකින් රක්ෂිත ප්‍ර‍දේශයක් බවට ප්‍රකාශිත බුලත්සිංහල, වගුරාන වනාන්තරය විනාශයට පත්වෙමින් පවතින බවත්;

(ii) ඉතා දුර්ලභ ශාක හා සත්ව සම්පත්වලින් අනූන මෙම වනාන්තරය රැක ගැනීමට ආරක්‍ෂක නිලධාරීන් යොදවා නොමැති බවත්;

(iii) එම වනාන්තරය නැරඹීමට එන අය සඳහා තොරතුරු සැපයී‍මේ වැඩපිළිවෙළක් ‍නොමැති බවත්;

(iv) බටපොත ඇල ඔස්සේ වගුරාන වනාන්තරයට කැළි කසළ ගලා ඒම  වැළැක්වීමට වැඩපිළිවෙළක් සලසා නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) ඉහත සඳහන් සංවේදී පරිසර කලාපයට ප්‍රා‍දේශීය පරිසර නිලධාරීන්ගේ සේවය කඩිනමින් ලබාදීමට  පියවර ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?   

(ඇ) නොඑසේ  නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-06-20

අසන ලද්දේ

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

විවිධත්වය සැලකිල්ලට ගෙන, ජාතික පාරිසරික පනතේ 24 ඇ සහ 24 ඈ වගන්ති මඟින් වලව්වත්ත, වතුරාන වතු යායෙන් අක්කර 12ක භූමි ප්‍රමාණයක් පාරිසරික ආරක්ෂක ප්‍රදේශයක් ලෙස අංක 1598/21 හා 2009.04.24 දින ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කර ඇත.

                        මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ප්‍රකාශිත අක්කර 12ක් වන පාරිසරික ආරක්ෂණ ප්‍රදේශය තුළ පරිසර හානියක් සිදු නොවේ.

                        එම ගැසට් නිවේදනයට අනුව මෙම ප්‍රදේශයේ පහත සඳහන් අනුමත භාවිතයන් පමණක් ක්‍රියාත්මක කළ හැක.

අවසර ලත් භාවිතයන් -

1. අධ්‍යාපන හා පර්යේෂණ කටයුතු;

2 ඇවිදීම සඳහා උස් කොට සකස් කරන ලද පාරවල්, කණු මත ඉදි කරන ලද තට්ටු;

3. නිරීක්ෂණ අට්ටාල, සැඟවී නිරීක්ෂණය කළ හැකි ස්ථාන;

4. පරිසර අධ්‍යාපනය සඳහා ක්ෂේත්‍ර විද්‍යාගාර;

5. ස්වාභාවික මංපෙත්;

6. ආගන්තුක ආක්‍රමණකාරී විශේෂ ඉවත් කිරීම;

7. මධ්‍යම පරිසර අධිකාරිය විසින් කලින් කලට අනුමත කරනු ලබන භාවිතයන්.

එසේ නමුත්, පාරිසරික ආරක්ෂණ ප්‍රදේශය තුළ සිදු කළ අනවසර වැලි කැනීමක් සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් අනුව, එම අධිකාරිය විසින් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ බුලත්සිංහල පොලීසියේ සහභාගිත්වයෙන් ඒකාබද්ධ ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කර, එම අනවසර වැලි ගොඩ දැමීම නැවැත්වීම පිණිස කටයුතු කරන ලදී.

තවද, මේ වන විට උක්ත ප්‍රකාශිත පාරිසරික ආරක්ෂණ ප්‍රදේශය සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් කළමනාකරණ සැලැස්මක් සකස් කිරීමට කටයුතු කරමින් පවතී. මෙම කළමනාකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී මෙම වනාන්තරය තිරසාර ලෙස සංරක්ෂණය කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගනු ලැබේ.

(ii) උක්ත ප්‍රකාශිත ඉඩම වලව්වත්තේ වතු සමාගමට හිමිකම් කියන අතර, මෙම ඉඩමේ අයිතිය කිසිදු විටක මධ්‍යම පරිසර අධිකාරිය වෙත පවරා ගෙන නොමැත. එබැවින්, ‍එම ප්‍රදේශයේ ආරක්ෂක කටයුතු වතු සමාගම මඟින් සිදු කරනු ලැබේ. ඉදිරියේදී කළමනාකරණ සැලැස්මක් සකස් කර, ඒ අනුව සංරක්ෂණ කටයුතු වැඩි දියුණු කිරීමට බලාපොරොත්තු වේ.

(iii) අදාළ ප්‍රදේශය නැරඹීමට එන අය සඳහා තොරතුරු සැපයීමට දැනට වලව්වත්ත වතු සමාගමට අයත් වතු අධිකාරී නිල නිවසේ කාර්යාලයේ අවශ්‍ය පහසුකම් සලසා ඇති අතර, ඉදිරියේදී ස්වභාව ක්ෂේත්‍ර මධ්‍යස්ථානයක් ඉදි කිරීමට අදාළව වතු සමාගම සමඟ දැනට සාකච්ඡා සිදු කරමින් පවතී.

(iv) බටපොත ඇළ ඔස්සේ වතුරාන වනාන්තරයට කැළි කසළ ගලා ඒම සම්බන්ධයෙන් මෙතෙක් වාර්තා වී නොමැත. මේ සම්බන්ධයෙන් සොයා බැලීමක් ඉදිරියේදී සිදු කරන බව දන්වා සිටිමි. මධ්‍යම පරිසර අධිකාරිය මඟින් ප්‍රකාශිත ප්‍රදේශයේ පසු විපරම් කටයුතු සිදු කරනු ලබන බවද වැඩිදුරටත් දන්වමි.

(ආ) බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය භාරව කටයුතු කරන ප්‍රාදේශීය පරිසර නිලධාරිගේ සේවය අවශ්‍ය අවස්ථාවලදී ලබා දීමට කටයුතු කරනු ලැබේ.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2014-04-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks