01

E   |     |  

 දිනය: 2023-09-05   පිළිතුර ලබා දී ඇත 

3078/2023: කැලණිවැලි දුම්රිය මාර්ගය නවීකරණ ව්‍යාපෘතිය: ප්‍රගතිය

3078/2023

ගරු අශෝක් අබේසිංහ මහතා,—  ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)       කැලණිවැලි දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ දක්වා සිදු කර ඇති කාර්යයන් කවරේද;

           (ii)       එම ව්‍යාපෘතියේ මේ වනවිට ප්‍රගතිය කවරේද;

          (iii)       ඉහත ව්‍යාපෘතිය අතරමග නවතා දමා තිබේද;

(iv) එම ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-09-05

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට පාදුක්ක දක්වා කොටස විදුලිකරණය කරන ලද ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස රථගාල් පහසුකම් සහිත නවීන දුම්රිය ස්ථාන හා නව සංඥා පද්ධතියක් සමඟ (මාලිගාවත්ත සිට මාලපල්ල දක්වා කොටස ගුවන්ගත මාර්ගයක් ලෙස) සංවර්ධනය කිරීම සඳහා වන ශක්‍යතා අධ්‍යයනය, සවිස්තරාත්මක ඉංජිනේරු සැලසුම්, ඇස්තමේන්තු හා ලංසු ලේඛන ඉදිරිපත් කර ඇත. තවද මෙම කොටසේ යෝජිත සංවර්ධන කටයුතු සඳහා පාරිසරික බලපෑම් ඇගයීම වාර්තාව - EIA report - සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් අනුමැතිය ලබා දී ඇත. එමෙන්ම පාදුක්ක සිට අවිස්සාවේල්ල දක්වා කොටස විදුලිකරණය කරන ලද තනි මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීම සඳහා වන මාර්ග පථයට අදාළ සැලසුම් ද සකස් කර ඇත.

මෙයින් පළමු අදියර ලෙස මරදාන සිට පාදුක්ක දක්වා කොටස විදුලිකරණය කරන ලද ද්විත්ව දුම්රිය මාර්ගයක් ලෙස නවීන නැවතුම්පොළවල් සමඟින් (එකවර වාහන 100ක් නැවැත්වීමේ පහසුකම් සහිතව) නව සංඥා පද්ධතියක්ද සමඟ ඉදිකිරීමටත්, කාර්ය බහුල වේලාවලදී මැදිරි 12ක් සහිත දුම්රිය විනාඩි 7කට වරක් ධාවනය කිරීමට සැලසුම් සකස් කර තිබුණි. මෙහිදී දුම්රිය හරස් මාර්ග 56කින් හා දුම්රිය මාර්ගයට සමාන්තර මාර්ග 10කින් සමන්විත මරදාන සිට මාකුඹුර දක්වා කොටස ගුවන්ගත මාර්ගයක් ලෙස ඉදිකිරීමටත් යෝජනා විය. මෙම දුම්රිය හරස් මාර්ග 56න් 22ක් සඳහාම දුම්රිය මාර්ගය පොළොව මතින් ඉදිකරන්නේ නම් ගුවන් පාලම් ඉදි කළ යුතු බව මාර්ග සංවර්ධන අධිකාරියේ නිර්දේශය වී තිබුණි. ඒ අනුව දුම්රිය හරස් මාර්ග හා සමාන්තර මාර්ගවලට වන බලපෑමෙන් නගරයේ ඇතිවන තදබදය වළක්වා ගැනීමටත්, දුම්රිය හරස් මාර්ග හා සමාන්තර මාර්ගවලට වන බලපෑමෙන් නගරයේ ඇතිවන තදබදය වළක්වා ගැනීමටත් දුම්රිය මාර්ගය ඉදිකිරීමෙන් පසු නගරයේ වාහන තදබදය වැළැක්වීම සඳහා මීටර් තුනක් උස වැටකින් දුම්රිය මාර්ගය ආවරණය කෙරෙන නිසා නගර බෙදී යෑම වැළැක්වීම සඳහාත් දුම්රිය මාර්ගය ඉහළින් ඉදිකළ පසු එහි පහළ කොටස ආදායම් උත්පාදනය සඳහා යොදා ගැනීමත් යන කරුණු සලකා බලා මෙම කොටස ගුවන්ගතව ඉදිවිය යුතු බව විදේශීය හා දේශීය විද්වතුන් 50කින් පමණ සමන්විත උපදේශක සමාගමේ යෝජනාව විය. වියදම් ඇස්තමේන්තු සැසදීමේදී ද මෙම කොටස ගුවන්ගතව ඉදිකිරීම පොළොව මතින් ඉදිකරනවාට වඩා ලාභදායී බව සනාථ විය.

නමුත් 2020.05.13 වන දින අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද සංදේශය මඟින් පත් කරන ලද,

1. මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා (සභාපති)

2. ආචාර්ය ඩී.එස්. ජයවීර මහතා (සාමාජික)

3. ජානක කුරුකුලසූරිය මහතා (සාමාජික) ගෙන් සමන්විත

කමිටුව හමුවේ දුම්රිය මාර්ගය මරදාන සිට මාකුඹුර දක්වා කොටස ගුවන්ගත මාර්ගයක් ලෙස ඉදිකිරීමේ යෝජනාව දැඩි ලෙස වි‍වේචනයට ලක්විය. මේ සම්බන්ධයෙන් ව්‍යාපෘති අධ්‍යක්ෂ විසින් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් අමතන ලද ලිපිය ඇමුණුම 01 ලෙස ඉදිරිපත් කරනවා. මෙහිදී යෝජනාව වූයේ මෙම කොටස පොළොව මතින් ඉදිකරන ලෙසයි. මේ සම්බන්ධයෙන් 2022.07.05 දින රැස් වූ COPA  මඟින් නිර්දේශ කර ඇත්තේ මෙලෙස විදේශීය හා දේශීයව සැදුම්ලත් උපකදේශකයන් මඟින් කරන ලද සැලසුම ඇගැයීමට ලක් කිරීමට තරම් කමිටුව සතු සුදුසුකම් සොයා බලන ලෙසයි. COPA එකේ නිර්දේශ ඇමුණුම 02 ලෙස ඉදිරිපත් කරනවා.

ඇමුණුම් 01 හා 02 සභාගත* කරමි.  

තවද, මෙම සැලසුම් සකස් කිරීමේ කාර්යයට සමගාමීව සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ඉඩ ලබා ගැනීම සඳහා මරදාන සිට පාදුක්ක දක්වා කොටසේ දුම්රිය රක්ෂිතය අනවසරයෙන් භාවිත කරන්නන් 1,600ක් පමණ ඉවත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ප්‍රකාරව ඔවුන් වෙත ප්‍රතිලාභ ලබා දී දුම්රිය රක්ෂිතයෙන් ඉවත් කිරීම සිදු කරගෙන යන අතර, මේ වන විට හඳුනා ගත් අනවසර නේවාසික ඉදිකිරීම් 670ක් සඳහා නිවාස ලබා දීමෙන්ද, වෙනත් ඉදිකිරීම් 38ක් සඳහා වන්දි ලබා දීමෙන්ද දුම්රිය රක්ෂිතයෙන් අනවසර භාවිත කරන්නන් ඉවත් කර ඇත. තවද ඉදිකිරීම් කටයුතු සඳහා අත්‍යවශ්‍ය වන හෙක්ටෙයාර 9.8ක පුද්ගලික ඉඩම් ප්‍රමාණයෙන් මරදාන සිට නාවින්න දක්වා කොටසෙහි ඉඩම් ප්‍රමාණය වන හෙක්ටෙයාර 1.70ක් අත්පත් කර ගැනීම සඳහා ඉඩම් කට්ටි 355ක් ලෙස හඳුනාගෙන ඉඩම් අත්පත් කර ගැනීමේ පනත අනුව එයින් ඉඩම් කට්ටි 343ක් සඳහා දෙවන මට්ටමේ ගැසට් නිවේදනය පළ කර ඇති අතර, එයින් ඉඩම් කට්ටි 287කට 5 වන මට්ටමේ නිවේදනය පළ කර ඇති අතර මේ වන විට ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලිය තාවකාලිකව අත්හිටුවා ඇත.

කෙසේ වෙතත්, කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය අරමුදල් ආසියානු සංවර්ධන බැංකුව විසින් වෙන් කර තිබුණද මහ භාණ්ඩාගාරය විසින් යවන ලද අංක ER/AB/Tr/Gen Vol I හා 2020.07.20 දිනැති ලිපියට අදාළව අවසානයේ එම අරමුදල් අහෝසි වූ අතර නැවත අරමුදල් ප්‍රභවයක් හඳුනාගත නොහැකි වීම නිසා ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීය. පසුව අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2021.06.10 දින අරලියගහ මන්දිරයේදී පැවති සාකච්ඡාවට අනුව, කැලණිවැලි දුම්රිය මාර්ගය සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා රජයේ සහ ආසියානු සංවර්ධන බැංකු අරමුදල් යොදා ගැනීමෙන් ඉදිකිරීම් කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවකින් අනුමැතිය ලැබී ඇත.   

මෙම සියලු සැලසුම් හා ඇස්තමේන්තු 2021.06.08 දින ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාරදී ව්‍යාපෘතිය වෙත පැවරී තිබූ කාර්යය අවසන් කර ඇත. ඉදිකිරීම් සම්බන්ධව මෙම ව්‍යාපෘතිය වෙත කාර්යයක් මෙහිදී පැවරී තිබුණේ නැත.

(ii) 2021 ජූලි 19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මෙතෙක් අරමුදල් සපයන කිසිදු ආයතනයක් ඉදිරිපත් වූ බවක් ව්‍යාපෘතිය වශයෙන් අප වෙත දැනුම්දීමක් කර නොමැත. රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ දුම්රිය මාර්ගය නවීකරණය කළ යුතු බව 2022 අගෝස්තු 30 දින අතුරු අය වැය කථාවේදී ගරු ජනාධිපතිතුමා විසින් ප්‍රකාශ කරන ලදී. ඒ අනුව සංවර්ධන කටයුතු සඳහා පෞද්ගලික අංශයේ හවුල්කරුවන් හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය සේවය විසින් කටයුතු කරනු ඇත. නමුත්, ඒ සඳහා ගත් කිසිදු උත්සාහයක් මෙතෙක් සාර්ථක වී නැත.

කෙසේ වෙතත්, මරදාන සිට පාදුක්ක දක්වා කොටසේ ව්‍යාපෘතිය නිසා බලපෑමට ලක් වන බවට හඳුනාගත් බලපෑම්ලාභීන් 1,600න් නිවැසියන් 670ක් නාගරික සංවර්ධන අධිකාරියෙන් ලබාගත් නිවාස ඒකකවල නැවත පදිංචි කර, ඔවුන් භාවිත කළ ඉදිකිරීම් ඉවත් කොට දුම්රිය මාර්ග රක්ෂිතය පිළිසකර කිරීම මේ දිනවල සිදු කරමින් පවතී. ඉතිරි බලපෑම්ලාභීන්ගෙන් නිවැසියන් 574ක් සඳහා නාගරික සංවර්ධන අධිකාරියෙන් නිවාස මිලදී ගැනීම සඳහා කටයුතු සිදු කර ඇති අතර, මේ වන විට එම නිවාස ඉදිකරමින් පවතී.  තවත් නිවාස ඒකක 120කින් යුතු මහල් නිවාස සංකීර්ණයක් දුම්රිය කාර්යක්ෂමතාව නැංවීමේ ව්‍යාපෘතිය විසින් මාලපල්ල ප්‍රදේශයේ ඉදිකරමින් පවතී.   නුදුරේදී එහි වැඩ අවසන් කිරීමට උපදෙස් ලබා දී ඇත.

(iii) කැලණිවැලි දුම්රිය මාර්ගයේ මරදාන සිට පාදුක්ක දක්වා කොටසේ සංවර්ධනයට අදාළ සැලසුම්, ඇස්තමේන්තු හා ලංසු ලියවිලි සකසා අවසන් කර පාරිසරික බලපෑම් ඇගැයීම් වාර්තාව සඳහා අනුමැතිය ද ලබාගෙන ඇතත්, ඉදිකිරීම් සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොවේ. නමුත්, මේ වන විට ඉදිකිරීම් සඳහා අවශ්‍ය ඉඩකඩ ලබා ගැනීම සඳහා දුම්රිය රක්ෂිතයේ පදිංචිකරුවන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරමින් පවතී.

(iv) ඉහත (i) හා (ii) හි සඳහන් කර ඇත.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-09-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks