බලන්න

04

E   |     |  

 දිනය: 2023-04-27   පිළිතුර ලබා දී ඇත 

2931/2023: බිත්තර ඉල්ලුම හා සැපයුම: විස්තර

2931/2023

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       වර්ෂ 2015 සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ බිත්තර ඉල්ලුම හා සැපයුම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

             (ii)       මේ වනවිට ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීමෙන් බිත්තර මිල ඉහළ ගොස් ඇති බව දන්නේද;

  (iii) බිත්තර මිල සාධාරණ මට්ටමකට පවත්වා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-04-27

අසන ලද්දේ

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)           (i)      කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකාවට අවශ්‍ය බිත්තර සැපයුම පහත දැක්වේ.

 

වර්ෂය

  බිත්තර සැපයුම මිලියන

2015

2290

2016

2300

2017

2851

2018

2847

2019

2621

2020

2433

2021

2930

2022

2072

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇති පරිදි 2017 වර්ෂයේ අග භාගයේදී සහ 2018 මුල් භාගයේ බිත්තර විකුණා ගැනීම ආශ්‍රිත ගැටලු වාර්තා වූ හෙයින් සහ වෙළෙඳපළ මිල නිෂ්පාදන මිලට වඩා පහළ වැටුණු බැවින් එම කාල වකවානුවේ අතිරික්ත බිත්තර නිෂ්පාදනය වූ බව සැලකිය හැකි වේ.

සාමාන්‍ය බිත්තර අවශ්‍යතාව දිනකට මිලියන 7ක් වන අතර මාසයකට මිලියන 210ක් වන අතර වාර්ෂිකව 2,555ක් පමණ වේ.

(ii) ඔව්.

(iii) වෙළෙඳ පොළේ ඉහළ යන බිත්තර මිල පාලනය කිරීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ විධිවිධාන අනුව 2023 අප්‍රේල් මස 19 දින නිකුත් කළ ගැසට් නිවේදනයක් මඟින් බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පනවා ඇත.

එමෙන්ම අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි ශ්‍රී ලංකා රජයේ වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් බිත්තර ආනයනය කිරීමට කටයුතු කර ඇත. මෙම ආනයනය කරනු ලබන බිත්තර සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දොපර්තමේන්තුව මඟින් තෝරාගෙන නිර්දේශ කරනු ලබන බස්නාහිර පළාත තුළ පමණක් පිහිටි බේකරි සහ හෝටල් සඳහා බෙදා හැරීමට කටයුතු කර ඇත. මේ අනුව ආනයනික බිත්තර බෙදා හැරීම තුළින් දේශීය වෙළෙඳපොළේ පවතින බිත්තර හිඟය මඟහැරීම නිසා බිත්තර මිල අඩුවීමට අවස්ථාව උදා වේ.

ඒ වගේම වෙළෙඳපොළේ බිත්තර නිෂ්පාදනය ඉහළ නැංවීමේ දීර්ඝ කාලීන විසඳුමක් වශයෙන් පසුගිය වර්ෂයේ මගේ අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක වූ කාන්තා ව්‍යවසායකයන් සවිබලගැන්වීමේ වැඩසටහන හරහා බිත්තර නිෂ්පාදන කර්මාන්තය ශක්තිමත් කිරීම සඳහාත් කාන්තා ව්‍යවසායකයින් වෙත කුකුළු පැටව් ලබා දීමේ කටයුතු ආරම්භ කර ඇත. ගම්පහ සහ කුරුණෑගල දිස්ත්‍රික්ක මුල්කර ගනිමින් එහි දිස්ත්‍රික් ලේකම්වරුන් සහ බස්නාහිර පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් සහ වයඹ පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් සම්බන්ධ කර ගනිමින් කුකුළු ගොවිපල පවත්වාගෙන යන ව්‍යවසායකයින් තෝරාගෙන කුකුළු පැටව් ලබාගැනීම වැනි මූලික කටයුතු ආරම්භ කිරීම සඳහා ණය මුදලක් සමුපකාර අරමුදල මඟින් ලබාදීමට කටයුතු සිදුවෙමින් පවතී. මේ අනුව තරුණ ව්‍යවසායකයින් මෙම කර්මාන්තයේ යෙදවීම දිරිගැන්වීම බලාපොරොත්තු වේ.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2023-04-27

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නලින් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks