02

E   |     |  

 දිනය: 2023-06-21   පිළිතුර ලබා දී ඇත 

1677/2023: මුලතිව් තිරුමුරිකණ්ඩි ගම්මානයේ ඉඩම: ජනතාව අතර බෙදා දීම

1677/2023

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා,— වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

(අ)         (i)      මුලතිව් දිස්ත්‍රික්කයේ, ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, තිරුමුරිකණ්ඩි ගම්මානයේ ජනතාව විසින් භාවිතා කරන ලද අක්කර 10ක පමණ විශාලත්වයකින් යුතු ඉඩම යුද සමයට පෙර අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ඉහත ගම්මානයේ ජනතාවට බෙදාදීම සඳහා කටයුතු කරන ලද අවස්ථාවේදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඊට බාධා කරන ලද බවත්;

      (ii) එම ඉඩමේ මේ වනවිට නිවාස, නිවාස අත්තිවාරම්, ළිං, වැසිකිළි, ක්‍රීඩාපිටි ආදිය පවතින බවත්;

    (iii) එම ඉඩම ජනතාවට බෙදා දීම සඳහා අනුමතිය ඉල්ලා ඔඩ්ඩුසුඩාන් ප්‍රාදේශීය ලේකම්වරයා විසින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ‌ජනරාල් වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත්කර තිබුණද මේ දක්වා ඒ සඳහා අනුමතිය ලැබී නොමැති බවත්;

එතුමිය දන්නෙහිද?

(ආ) ඉහත සඳහන් ඉඩම ජනතාවට බෙදා දීම සඳහා පියවර ගන්නේද යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-06-21

අසන ලද්දේ

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      යුද සමයට පෙර අදාළ ඉඩම ප්‍රාදේශීය ලේකම් විසින් ජනතාවට බෙදා දීම සඳහා කටයුතු කිරීමේදී එම කටයුත්ත සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් කිසිවිටෙකත් ඊට බාධා කළා යැයි සිද්ධියක් සම්බන්ධයෙන් වාර්තා වී නොමැත.

              (ii)      නටබුන්ව ඇති නිවාස, නිවාස අත්තිවාරම්, ළිං, වැසිකිළි ආදිය දැකිය හැකි වුවත්, වර්තමානය වන විට මෙම ඉඩම තුළ කිසිවෙකු පදිංචි වී නොමැත. හානියට පත් වී ඇති පැරණි  නිවාස හා ගොඩනැඟිලි සහිත අවශේෂ භූමියක් ලෙස පවතී.

(iii) මෙවැනි ඉල්ලීමක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇති අතර ක්‍රීඩා පිටිය ඉදිකිරීම සඳහා හඳුනාගෙන ඇති ඉඩම් කොටස ඉරණමඩු රක්ෂිතය තුළ පිහිටි විශාල ගස් නොමැති කටු පඳුරු සහිත ලඳු කැලයකි. ප්‍රාදේශීය ලේකම්ගේ ඉල්ලීම මත මෙහි පදිංචි වී සිටි ජනතාවට තිරුමුරිකණ්ඩි ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ කොකාවිල් ප්‍රදේශයෙන් විකල්ප ඉඩම් ලබා දී ඇත.

තවද, අදාළ ඉඩමෙහි හායනයට පත්වී ඇති ඉඩම් කොටසක් ක්‍රීඩා පිටිය ඉදිකිරීම සඳහා මෙයට පෙර ඒකාබද්ධ ක්ෂේත්‍ර පරීක්ෂාවකදී ඉල්ලුම්කරුවන් වෙත පෙන්වා දුන් බවත්, මෙම ඉඩම ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා සුදුසු බවටත් මුලිතිව් දිසා වනනිලධාරි විසින් නිර්දේශ ඉදිරිපත් කර ඇත. ඒ අනුව ක්‍රීඩා පිටිය ඉදිකිරීම සඳහා පමණක් ඉහත සඳහන් ඉඩමෙන් කොටසක් ලබා දීමේ හැකියාවක් ඇත.

(ආ) අදාළ ඉඩම් කොටස නැවත පුනර්ජනනය වෙමින් පවතින වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයේ පවතින ඉරණමඩු රක්ෂිත වනාන්තරයට අයත් ඉඩම් කොටසක් වීම නිසා එම ඉඩම් කොටස ජනතාව වෙත බෙදා දීම සඳහා පියවර ගෙන නොමැත.

(ඇ) දැනටමත් මෙහි පදිංචිකරුවන් සඳහා විකල්ප ඉඩම් ‍ලබා දී ඇති අතර ක්‍රීඩා පිටිය සඳහා ද නිර්දේශ ලබා දී ඇත. එබැවින් අදාළ ඉඩම් කොටස ජනතාව වෙත බෙදා දීම සඳහා අවශ්‍යතාවක් පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2023-07-19

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks