04

E   |     |  

 දිනය: 2023-03-21   පිළිතුර ලබා දී ඇත 

1614/2023: වායු සම්පත් කළමනාකරණ වැඩසටහන්: මහනුවර නගරය

1614/2023

ගරු තිස්ස අත්තනායක මහතා,—  පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මහනුවර නගරයේ, අහිතකර වායු සංයුතිය, සම්මත සාන්ද්‍රණයන්ට වඩා ඉහළ අගයක් ගන්නා බව පර්යේෂණ වාර්තාවලින් තහවුරු වී ඇති බවත්;

             (ii)       ඒ සම්බන්ධයෙන් 2017 වර්ෂයේදී, අදාළ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් වායු සම්පත් කළමනාකරණ වැඩසටහන් ආරම්භ කරන ලද බවත්;

(iii) පසුව එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීම නවතා දමා ඇති බවත්;

එතුමා  දන්නෙහිද?

(ආ) (i) ඉහත වැඩසටහන් ක්‍රියාත්මක නොකිරීමට හේතු කවරේද;

(ii) එම වැඩසටහන් නැවත ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-03-21

අසන ලද්දේ

ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)           (i)      පේරාදෙණිය විශ්ව විද්‍යාලය විසින් කරන ලද පර්යේෂණයක දත්ත පාදක කර ගනිමින් මහනුවර නගරයේ පවතින අයහපත් වායු තත්ත්වය පිළිබඳව පුවත්පත් වාර්තාවක් පළ විය. මේ තත්ත්වය සැලකිල්ලට ගෙන 2019 වසරේදී මහනුවර නගරය මධ්‍යයේ පිහිටි ජෝර්ජ් ඊ. ද සිල්වා උද්‍යානයේ ස්වයංක්‍රිය සංසරණ වායු තත්ත්ව අධීක්ෂණ උපකරණයක් ස්ථාපනය කරන ලදි. එම උපකරණය මඟින් වායු තත්ත්ව පරාමිතීන් 6ක් මනිනු ලබන අතර, ඒවා නම් ක්ෂුද්‍ර අංශු 2.5um (PM2.5), ක්ෂුද්‍ර අංශු 10um (PM10), කාබන් මොනොක්සයිඩ් (CO), සල්ෆර් ඩයොක්සයිඩ් (SO2), ඕසොන් (O3) සහ නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO2) වේ.

ඉහත සඳහන් උපකරණයෙන් ලබාගත් දත්තවලට අනුව, සංසරණ වාතයේ ගුණාත්මකභාවය ජාතික ප්‍රමිතීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන ලද ප්‍රමිතීන් ඉක්මවා නොමැත. ඉතා සීමිත අවඒථාවලදී පමණක් ක්ෂුද්‍ර අංශු ප්‍රමාණයන් මද වශයෙන් ඉක්මවා ඇති බව නිරීක්ෂණය ‍විය. එබැවින් සංසරණ වායු තත්ත්ව මැණීමේ උපකරණයෙන් මෙතෙක් ලබාගත් අඛණ්ඩ දත්තවලට අනුව මහනුවර නගරයේ සංසරණ වාතයේ ගුණාත්මකභාවය පිරිහීමක් සිදු වී නොමැති බව මධ්‍යම පරිසර අධිකාරිය විසින් වාර්තා කර ඇත.

(2019 ජනවාරි සිට 2021 ජූලි දක්වා සහ 2022 නොවැම්බර් සිට 2023 මාර්තු දක්වා වායු තත්ත්ව දත්ත නිරූපණය කරන ප්‍රස්තාර ඇමුණුමෙහි** දක්වා ඇත)

 

(ii) ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව කළමනාකරණය පිළිබඳව සාකච්ඡා කර ජාතික වශයෙන් තීරණ ගැනීම සඳහා පරිසර අමාත්‍යාංශයෙහි වායු සම්පත් කළමනාකරණ කේන්ද්‍රය - Air Resource Management Centre (AirMAC) -  ස්ථාපිත කර ඇති අතර, එය 2000 වසරේ සිට ක්‍රියාත්මකව පවතී.

පේරාදෙණිය විශ්වවිද්‍යාලය මඟින් සිදු කරන ලද පර්යේෂණ දත්ත සැලකිල්ලට ගනිමින්, පරිසර අමාත්‍යාංශය විසින් 2017 වසරේ දී අදාළ පාර්ශ්වකරුවන් සමඟ ඉහත කරුණ සාකච්ඡා කිරීම සඳහා විශේෂ රැස්වීම් පවත්වන ලදි. ඒ අනුව ඉහත අංක (I)හි සඳහන් වන පරිදි ස්වයංක්‍රිය සංසරණ වායු තත්ත්ව අධීකෂණ උපකරණය මහනුවර නගරයේ ස්ථාපනය කරන ලදි.

(iii) මධ්‍යම පරිසර අධිකාරිය විසින් 2019 වසරේ සිට මහනුවර ප්‍රදේශයේ සංසරණ වායු තත්ත්ව අධීක්ෂණ කටයුතු සිදු කෙරේ.

 

(ආ) (i) අධීක්ෂණ වැඩසටහන අත්හිටුවා නොමැති අතර, ඉහත කී ස්වයංක්‍රිය සංසරණ වායු තත්ත්ව අධීක්ෂණ උපකරණ භාවිතයෙන් මහනුවර නගරයේ වායු තත්ත්ව අධීක්ෂණය කිරීම අඛණ්ඩව සිදු කෙරේ.

 

ඊට අමතරව, මධ්‍යම පරිසර අධිකාරිය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟ එක්ව, මහනුවර නග‍රයේ පහත සඳහන් ස්ථානවල, වායු තත්ත්ව මැනීමේ සංවේදක යොදා ගනිමින්, වාතයේ ගුණාත්මකභාවය (PM 2.5 පමණි) මැනීමේ කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇත.

1. පේරාදෙණිය විශ්වවිද්‍යාලය

2. ත්‍රිත්ව විද්‍යාලය අසල

3. නව උසාවි සංකීර්ණය අසල

4. මහනුවර උසස් බාලිකා විද්‍යාලය අසල

5. මහනුවර ටොරින්ටන් උද්‍යානය

6. හන්තාන

7. ලේවැල්ල

 

වායු තත්ත්වය පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබා ගැනීමට නම් ස්වයංක්‍රිය වායු තත්ත්ව අධීක්ෂණ උපකරණ මඟින් මිනුම් කටයුතු සිදු කිරීම වඩාත් යෝග්‍ය වේ. දැනට අප සතුව එවැනි උපකරණ 2ක් පමණක් පවතින අතර, ඒවා මහනුවර සහ බත්තරමුල්ල ආශ්‍රිතව ස්ථාපිත කර මිනුම් කටයුතු සිදු කරනු ලබයි. ශ්‍රී ලංකාවේ සමස්ත සංසරණ වායු තත්ත්වය පිළිබඳ අදහසක් ලබා ගැනීම සඳහා සුදුසුම විසඳුම වන්නේ සියලු පළාත් ආවරණය වන පරිදි සුදුසු ස්ථානවල ස්වයංක්‍රිය වායු තත්ත්ව අධීක්ෂණ උපකරණ ස්ථාපනය කිරීමයි. එබැවින්, මෙම මිනුම් කටයුතු තිරසාරව පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අය වැය ප්‍රතිපාදන සහිතව ජාතික වායු තත්ත්ව අධීක්ෂණ ජාලයක් ස්ථාපනය කිරීමට කටයුතු කිරීම ජාතික අවශ්‍යතාවකි.

(ii) අදාළ නොවේ.

සමස්ත වායු තත්ත්වය පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ සියලු පළාත් ආවරණය වන පරිදි සුදුසු ස්ථානවල ස්වයංක්‍රිය වායු තත්ත්ව අධීක්ෂණ උපකරණ ස්ථාපනය කිරීමට යෝජනා කෙරේ.

 

(ඇ) ‍පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2023-05-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks