01

E   |     |  

 දිනය: 2023-03-10   පිළිතුර ලබා දී ඇත 

1503/2023: පින්නවල සත්වෝද්‍යානය: සංවර්ධන කටයුතු

1503/2023

ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය,— වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,— 

(අ)         (i)       පින්නවල සත්වෝද්‍යානයේ සංවර්ධන කටයුතු මේ වනවිට සිදු කරන්නේද;

             (ii)       එම සංවර්ධන කටයුතු අවසන් කරනු ලබන දිනය කවරේද;

            (iii)       දේශීය හා විදේශීය සංචාරකයන්ට එම සත්වෝද්‍යානය නැරඹීම සඳහා අවශ්‍ය මූලික පහසුකම් සකස් කර තිබේද;

(iv) එම සත්වෝද්‍යානයට ඉදිරියේදී සංචාරක ආකර්ෂණය වැඩිකර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කර තිබේද;

(v) එසේ නම්, ඒ පිළිබඳ විස්තර කවරේද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-03-10

අසන ලද්දේ

ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       ඔව්.

              (ii)      වාර්ෂිකව ලැබෙන භාණ්ඩාගාරික ප්‍රතිපාදන මත ඉතිරි සංවර්ධන කටයුතු තවදුරටත් සිදු කරනු ලබයි.

            (iii)      ඔව්.

             (iv)      ඔව්.

       (v)      1.      පින්නවල අලි අනාථාගාරය නැරඹීමට පැමිණෙන සංචාරකයින් ආකර්ෂණය කර ගනිමින් වඳවීමේ තර්ජනයට ලක්ව සිටින දේශීය සත්ව විශේෂ සංරක්ෂණය, පින්නවල සත්වෝද්‍යානය ඉදිකිරීමේ මූලික අරමුණක් වේ. ඒ අනුව අලි අනාථාගාරය සමඟ මෙම සත්වෝද්‍යානය නැරඹීමට ඒකාබද්ධ ප්‍රවේශ පත්‍රයක් - combo ticket එකක් - නිකුත් කිරීමට කටයුතු කරන ලදී. මෙමඟින්, අලි අනාථාගාරය පමණක් නැරඹීමට වාර්ෂිකව පැමිණෙන ලක්ෂ හතක් පමණ වූ නරඹන්නන් පින්නවල සත්වෝද්‍යානය වෙතද ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂා කරනු ලැබේ. තවද, වසර අවසානයට පෙර මාර්ගගත - online - ක්‍රමය ඔස්සේ නරඹන්නන්ට ප්‍රවේශ පත්‍ර ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතී.

2. පින්නවල සත්වෝද්‍යානය හැර ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් අනෙකුත් ආයතන -පින්නවල අලි අනාථාගාරය, දෙහිවල සත්වෝද්‍යානය, රිදියගම සෆාරි උද්‍යානය- නැරඹීමට සාමාන්‍යයෙන් වාර්ෂිකව සංචාරකයින් ලක්ෂ 30ක් පමණ පැමිණේ. එම සියලුම ආයතනවල පින්නවල සත්වෝද්‍යානය පිළිබඳ ප්‍රචාරණ කටයුතු සිදු කරනු ලැබේ.

3. සත්වෝද්‍යානය නැරඹීමට පැමිණෙන සංචාරකයින් අතරින් බොහොමයක් උරගයන් හා පක්ෂීන් නැරඹීම සඳහා වඩාත් වැඩි කැමැත්තක් දක්වයි. පර්යේෂකයන් ද උරගයන්, පක්ෂීන් පිළිබඳ පර්යේෂණ සිදු කිරීම සඳහා වැඩි උනන්දුවක් දක්වනු ලැබේ. මේ නිසා කුරුළු උයනක්, උරග උයනක් පින්නවල සත්වෝද්‍යානයේ ඉදිකිරීමට සැලසුම් කර ඇත. මෙම සංවර්ධන කටයුතු දෙපාර්තමේන්තුව වෙත ප්‍රතිපාදන ලැබෙන ආකාරයට සිදු කිරීමට අපේක්ෂිතය.

4. සත්වෝද්‍යාන නැරඹීමට පැමිණෙන නරඹන්නන් අතර කුඩා දරුවන් සුවිශේෂී වේ. දරුවන් සමඟ නිතැතින්ම දෙමව්පියන් සත්වෝද්‍යානය නැරඹීමට පැමි‍ණේ.  ලෝක ළමා දිනයන් තුළදී උපයනු ලබන ආදායම අනුව එය පැහැදිලි වේ. එබැවින් දරුවන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් නවීන උපාංග සහිතව ළමා උද්‍යානයක් මෙම වසර තුළදී පින්නවල සත්වෝද්‍යානය තුළ ඉදිකිරීමට නියමිතය. මේ වන විට පුවත් පත් දැන්වීම් මඟින් මිල ගණන් කැඳවා ප්‍රසම්පාදන මණ්ඩලය වෙත මිල ගණන් ඉදිරිපත් කර ඇත.

5. සංචාරකයන් වෙත විනෝදාස්වාදය සහ දැනුම ලබා දීම සඳහා, සතුන් සමඟ ඡායාරූප ලබා ගැනීමට සංචාරකයින් සඳහා අවස්ථාව ලබා දීම, තෝරා ගත් සතුන්ට ආහාර ලබා දීම සඳහා සංචාරකයින්ට අවස්ථාව ලබා දීම, සතුන් පිළිබඳ විස්තර කථන ඉදිරිපත් කිරීම වැනි වැඩසටහන් නරඹන්නන් වෙනුවෙන් දිනපතාම ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන ලදී.

 

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2023-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks