04

E   |     |  

 දිනය: 2023-03-10   පිළිතුර ලබා දී ඇත 

1298/2023: ඖෂධ හිඟය විසඳීමට ඉන්දියානු ණය ආධාර අරමුදල් භාවිත කිරීම: විස්තර

1298/2023

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,—  සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)         (i)       මේ වනවිට රජයේ රෝහල්වල දැඩි ඖෂධ හිඟයක් පවතින බව දන්නේද;

                (ii)      ඖෂධ මිලදී ගැනීම සඳහා ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ලැබුණු මුදල කොපමණද;

               (iii)      එම මුදල් භාවිතා කරමින් ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

  යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-03-10

අසන ලද්දේ

ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)           (i)      වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ බෙහෙත් මිලදී ගැනීම් සඳහා ප්‍රමාණවත් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් සපයා ගැනීමට නොහැකි වීම නිසා රජයේ රෝහල්වල ඖෂධ හිඟයක් ඇති වී ඇත. එම හිඟය මඟහරවා ගැනීම සඳහා රජය විසින් ක්‍රියාමාර්ග ගණනාවක් ගනු ලැබූ අතර, එමඟින් ඖෂධ හිඟය බොහෝ දුරට අවම කර ගැනීමට හැකියාව ලැබිණි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගනු ලැබූ සහ ගනු ලබන පියවර මත ඉදිරියේදී අඛණ්ඩ ඖෂධ සැපයීමක් සිදු කළ හැකි බව අපේක්ෂා කරමි.

(ii) 2022 මාර්තු මාසයේදී ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක් සහ 2022 නොවැම්බර් මාසයේදී ලැබුණු ඩොලර් මිලියන 35 සමඟ ලැබුණු මුළු මුදල ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 235කි.

(iii) ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ලැබුණු මුදල් භාවිත කරමින් ඖෂධ හිඟය මඟහරවා ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග වන්නේ,

 

Ø 2022 මාර්තු මාසයේ ඖෂධ ආනයනය කිරීම සඳහා වෙන් වූ මුදල ඖෂධ පිළිබඳ අනුකමිටුව විසින් රාජ්‍ය අංශයේ ආයතන, පෞද්ගලික අංශයේ ඖෂධ නිෂ්පාදකයන් සහ පෞද්ගලික අංශයේ ඖෂධ ආනයනකරුවන් යන අංශ වෙත වෙන් කිරීමට තීරණය කිරීම.

Ø සැපයුම්කරුවන් අතරින් ඉන්දියානු සැපයුම්කරුවන් වෙත ප්‍රදානය කර තිබූ ටෙන්ඩර්වලට අදාළ ඇණවුම් ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ආනයන කිරීමට මුලින්ම පියවර ගන්නා ලදී.

Ø රජයේ වෛද්‍ය සැපයුම් අංශයට ඉන්දියාවෙන් ඖෂධ ආනයන කර සැපයීම සඳහා පෞද්ගලික අංශයෙන් මිල ගණන් කැඳවීම සහ එම ඖෂධ ගෙන්වීමට අවශ්‍ය පහසුකම් සපයන ලදී.

Ø ඉන්දියානු ණය ආධාර ක්‍රමය යටතේ ඉන්දියානු සමාගම්වලින් ඍජුවම රජයේ වෛද්‍ය සැපයුම් අංශයට ඖෂධ ආනයන කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීම.

(ආ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2023-03-10

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks