04

E   |     |  

 දිනය: 2013-03-20   පිළිතුර ලබා දී ඇත 

1974/2013: රාජ්‍ය ආයතනවලට උපාධිධාරින් පත් කිරීම: උසස්වීම් ක්‍රමවේදයක්

1974/’11

 

ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       2005 වර්ෂයේ දී උපාධිධාරීන් සඳහා පත්වීම් ලබාදීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ අධි සේවක පදනම මත රාජ්‍ය ආයතන සහ රජයේ පාසල්වල මූල්‍ය සහකාර, සංවර්ධන සහකාර හා කළමනාකරණ සහකාර ලෙස පත්වීම් ලබාදුන් බවත්;

  (ii)  ඔවුන් සඳහා මේ දක්වා උසස්වීම් ක්‍රමවේදයක් සකසා නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ)   (i)  රජයේ පාසල්වල සේවය කරනු ලබන ඉහත පත්වීම්ලාභීන්ට එම පාසල්වල හෝ වෙනත් පාසල්වල ගුරු පත්වීම් ලබාගැනීමේ හැකියාවක් තිබේද;

  (ii)  එසේ නම්, ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රමවේදය කවරේද; 

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?        

(ඇ)  (i)  ඉහත පත්වීම්ලාභීන් සඳහා උසස්වීම් ක්‍රමවේදයක් සකස් කරනු ලබන්නේද;

  (ii)  එසේ  නම්, ඒ සඳහා ගතවන කාල සීමාව කවරේද;  

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?      

(ඈ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2013-03-20

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු බන්දුල ගුණවර්ධන මහතා

(மாண்புமிகு பந்துல குணவர்தன)

(The Hon. Bandula Gunawardane)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

(අ)          (i)       ඔව්.

              (ii)       2005 වර්ෂයේදී බඳවා ගත් උපාධිධාරින් වෙනුවෙන් උසස්වීම් ලබා දීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් 2010.10.16 දිනැති බඳවා ගැනීම් පටිපාටිය අනුව (ආශ්‍රිත නිලධාරි) සකස් කර අනුමැතියට යොමු කළ අතර, කැබිනට් පත්‍රිකාව 2010.08.27වන දිනැති කැබිනට් තීරණය මඟින් අනුමත  කර ඇත. එකී කැබිනට් පත්‍රිකාවට අනුව කඩ ඉම් විභාග පවත්වා බඳවා ගැනීමේ පටිපාටිය අනුව කටයුතු කරමින් සිටියදී, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මඟින් සියලුම අමාත්‍යාංශවලට බඳවා ගත් උපාධිධාරින් අන්තර්ග්‍රහණය කිරීම සඳහා වැඩසටහන් නිලධාරි සේවා ව්‍යවස්ථාව සකස් කර 2012.02.14වන දිනැති ගැසට් පත්‍රයේ පළ කරන ලදි.

ඒ අනුව, අංක 01/2012 සහ 2012.05.31වන දිනැති රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛය මඟින් දැනුම් දී ඇත්තේ, මෙම වැඩසටහන් නිලධාරි ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන තෙක් ඒ ඒ අමාත්‍යාංශවල බඳවා ගැනීම් පටිපාටි ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන ලෙසයි. එම නිසා ඔවුන්ගේ බඳවා ගැනීම් පටිපාටියට අදාළ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත. උසස් වීම් ක්‍රමවේදය වැඩසටහන් නිලධාරි සේවා ව්‍යවස්ථාව අනුමත වූ පසුව ඒ අනුව සකස් වනු ඇත.

(ආ) (i) ඔව්.

     (ii) ඔවුන්ට ගුරු සේවයට බැ‍ඳෙන්න පුළුවන්. ගුරු සේවා ව්‍යවස්ථාව අනුව විවෘත තරග විභාගයට පෙනී සිට සම්මුඛ පරීක්ෂණයෙන් සමත්වන අයට පාසල් පදනම් කර ගෙන ගුරු සේවයට බැ‍ඳෙන්න පුළුවන්. බඳවා ගැනීම් මත පවත්වන විභාග සමත්වීම හා සුදුසුකම් සපුරාලීම මත ගුරු සේවයට තේරී පත් වූ විට  එම පත්වීම් භාර ගැනීම සඳහා සේවයෙන් නිදහස් කළ හැකිය.

(ඇ) (i) වැඩසටහන් නිලධාරි සේවා ව්‍යවස්ථාව අනුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ලබා දෙන උපදෙස් අනුව ඉදිරියේදී සැකසීමට නියමිතව ඇත.

      (ii)      එය අධ්‍යාපන අමාත්‍යාංශ‍ය  නොව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් තීරණය කළ යුතු කාර්යයකි.

(ඈ)     අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-03-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks