04

E   |     |  

 දිනය: 2012-08-09   පිළිතුර ලබා දී ඇත 

1829/2012: මොරවක, කොටපොල හා පස්ගොඩ අධ්‍යාපන කලාප : ගුරු ස්ථාන මාරු

1829/’11

 

ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— 

(අ)          (i)      මාතර දිස්ත්‍රික්කයේ, දෙනියාය අධ්‍යාපන කාර්යාලයට අයත්, මොරවක, කොටපොල හා  පස්ගොඩ කොට්ඨාස අධ්‍යාපන කාර්යාලවලින් පාලනය වන රජයේ පාසල්වල දුෂ්කර සේවා කාලය අවසන්වීමෙන් පසු ස්ථාන මාරුවීම් නොලැබීම නිසා දැඩි කලකිරීමට පත් විශාල ගුරු පිරිසක් සිටින බවත්;

(ii) මෙම හේතුව නිසා එම ගුරුවරුන්ගේ ඉගැන්වීමේ කටයුතුවල ගුණාත්මකභාවය පිරිහීමට ලක් විය හැකි බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) ගුරු මාරු මණ්ඩල තීරණයන්ට අනුව ස්ථාන මාරු සඳහා සපුරාලිය යුතු අවම සුදුසුකම් කවරේද;

      (ii) මේ වන විට ඉහත අධ්‍යාපන කලාප තුළ දුෂ්කර සේවා කාලය අවසන්වීමෙන් පසු ස්ථාන මාරුවීම් ඉල්ලා ඇති ගුරුවරුන් සංඛ්‍යාව කොපමණද;

(iii) ඔවුන්ට ස්ථාන මාරුවීම් ලබා දීම සඳහා වැඩ පිළිවෙළක් සකසා තිබේද;

(iv) එම ක්‍රමවේදය කවරේද;

(v) ඒ අනුව ස්ථාන මාරු ලබා දෙන්නේ නම්, එම දිනය කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?        

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-08-09

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු බන්දුල ගුණවර්ධන මහතා (අධ්‍යාපන අමාත්‍යතුමා)

(மாண்புமிகு பந்துல குணவர்தன - கல்வி  அமைச்சர்)

(The Hon. Bandula Gunawardane - Minister of Education)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට පිළිතුර දෙනවා.

 

(අ)          (i)      නැත.

              (ii)      අදාළ නොවේ.

(ආ)         (i)      ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියට හා ගුරු සේවා ව්‍යවස්ථාව අනුව ගුරු සේවා ව්‍යවස්ථාවේ ඇතුළත් ස්ථාවර කමිටුව විසින් නම් කරනු ලබන පාසලක අනිවාර්ය අවම සේවා කාලයක් සෑම ගුරු භවතෙක් විසින්ම සේවය කළ යුතුය. ඒ අනුව,

v අති දුෂ්කර හෝ දුෂ්කර පාසලක අවම ලෙස වසර 3ක්.

v අපහසු නොවන පාසලක අවම ලෙස වසර 4ක්.

v වඩාත් සුදුසු පාසලක උපරිම වසර 6ක්.

v පහසු පාසලක උපරිම ලෙස වසර 8ක්.

සේවය කළ යුතුය. එමෙන්ම පාසල පාදක ගුරු බඳවා ගැනීම් ප්‍රතිපත්තිමය ලෙස පිළිගන්නා අවස්ථාවලදී පත්වීම් ලිපියේ සඳහන් කොන්දේසි අනුව පත් කරන ලද පාසලේ එක දිගට සේවය කළ යුතු වසර ගණන සම්පූර්ණ කළ යුතුය.

(ii) අන්තර් කලාප ස්ථාන මාරු ඉල්ලා ඇති ගුරු සංඛ්‍යාව - 111යි.

අන්තර් පළාත් ස්ථාන මාරු ඉල්ලා ඇති ගුරු සංඛ්‍යාව - 28යි.

(iii) ඔව්. පළාත් සභාව විසින් අදාළ පළාතේ ගුරු මාරු පිළිබඳව වැඩ පිළිවෙළක් සකසා තිබේ.

(iv) ස්ථාන මාරු අපේක්ෂිත ගුරුභවතුන් විසින් කලාපවලට භාර දී ඇති ස්ථාන මාරු අයදුම් පත් සඳහා ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියට අනුව තෝරා ගත් නිර්ණායකවලට අනුකූලව කලාප ගුරු මාරු මණ්ඩලය විසින් ලකුණු දීමක් සිදු කරයි.

අනතුරුව එම ලකුණු අනුපිළිවෙළ අනුව ගුරුවරුන් පෙළ ගස්වා කලාපය තුළ පවතින ගුරු ඌනතා හා අතිරික්ත පිළිබඳව ද සලකා බලා

ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියේ 1.1 වගන්තියට අනුව ශිෂ්‍යයන්ගේ අවශ්‍යතා මුඛ්‍ය ස්ථානයෙහි තබා ශිෂ්‍යයන්ට හා පාසල්වලට හානියක් සිදු නොවන ලෙස ගුරු ස්ථාන මාරු ලබා දීමට කටයුතු කරන බව දන්වමි.

(v)      ජාතික ගුරු මාරු ප්‍රතිපත්තියට අනුකූලව සැප්තැම්බර් මාසයේ 1 - 15ත් අතර කාල සීමාව තුළ.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-04-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks