01

E   |     |  

 දිනය: 2020-11-30   පිළිතුර ලබා දී ඇත 

0780/2020: වව්නියාව ප්‍රදේශයේ නිවාස යෝජනා ක්‍රමය: නිවාස වෙන් කිරීමේ පදනම

780/2020 ගරු කේ. කාදර් මස්තාන් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) එවකට පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශය යටතේ වවුනියාව ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ නිවාස යෝජනා ක්‍රමය යටතේ නිවාස අහිමි පුද්ගලයන්ට නිවාස ලබා දෙන බව එතුමා දන්නෙහිද? (ආ) (i) වවුනියාව ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 42 අතරින් නිවාස ලබා දීම සඳහා 2019 වර්ෂයේදී හඳුනාගෙන ඇති ප්‍රතිලාභින් සංඛ්‍යාව කොපමණද; (ii) ඉහත එක් එක් ග්‍රාම නිලධාරි වසම සඳහා මේ වනතෙක් ලබා දී ඇති නිවාස සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද; (iii) එම නිවාසලාභින්ගේ නම් කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) (i) එක් එක් ග්‍රාම නිලධාරි වසම සඳහා නිවාස වෙන් කරන පදනම කවරේද; (ii) කල්ලිකුලම් ග්‍රාම නිලධාරි වසමේ මුල් පදිංචිකරුවන්ට සහ පසුව පදිංචි කරවනු ලැබූ අයට නිවාස වෙන් කිරීමේදී පදනම් කර ගනු ලැබූ සාධක කවරේද; (iii) එම නිවාස වෙන් කිරීමේදී පැන නැගී ඇති ගැටලුව විසඳීමට ගනු ලබන පියවර කවරේද; (iv) මේ වනතෙක් නිවාස ලැබී නොමැති පුද්ගලයන්ට නිවාස ලබා දෙන දිනය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-30

අසන ලද්දේ

ගරු ‍කේ. කාදර් මස්තාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

නාගරික සංවර්ධන හා නිවාස

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්.

           පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් සහ හින්දු ආගමික කටයතු අමාත්‍යාංශය මගින් ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් නිවාස අහිමිව අවතැන් වූ පවුල් සඳහා නිවාස ලබා දුන් බව දනිමි.

(ආ)         (i)       ප්‍රතිලාභීන් 465කි.

             (ii)       ඇමුණුම - 01 හි දක්වා ඇත.

            (iii)       ඇමුණුම - 02 හි දක්වා ඇත.

(ඇ)         (i)       ලැබෙන ප්‍රතිපාදන අනුව ඒ ඒ අවස්ථාවේ මතු වන අවශ්‍යතා හා ප්‍රමුඛතා මත ප්‍රාදේශීය ලේකම් විසින් ග්‍රාම නිලධාරි වසම් අතර නිවාස සංඛ්‍යාව වෙන් කිරීම සිදු කරනු ලබයි.

ඒවා විධිමත් කරන්න ඕනෑ. අපි මේ වෙද්දීත් ඒවා විධිමත් කරමින් ඉන්නවා. පසු ගිය වකවානුවේ සිද්ධ වෙච්ච දේවලට අදාළ කාරණා තමයි පිළිතුර විධියට අප ඔබතුමන්ලාට මේ ලබා දෙන්නේ. 

(ii) මෙම නිවාස ලබා දීමේදී මුල් පදිංචිකරුවන් හා පසුව පදිංචි වූ අය යනුවෙන් සලකා බැලීමක් නොකරන අතර, ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් නිවාස අහිමි වූ මුල් පවුල් හා ඔවුන්ගේ අනුපවුල් යන පදනමින් අමාත්‍යාංශය මගින් ලබා දී ඇති නිර්ණායක මත ප්‍රතිලාභීන් තෝරා ගනු ලබයි. ඊට අදාළ විස්තර, ඇමුණුම 03 හි දක්වා ඇත.

ඇමුණුම 01, 02, සහ 03 සභාගත* කරමි.

(iii) නිවාස ප්‍රතිලාභීන්ගේ දුග්ගැනවිලි සඳහා පිළියම් යෙදීමේ යන්ත්‍රණයක් පවතී.

1. තෝරා ගන්නා ලද ප්‍රතිලාභීන්ගේ නාම ලේඛනය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රදර්ශනය කිරීම.

2. පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා සති දෙකක (02) කාලයක් ලබා දීම.

3. ප්‍රාදේශීය ලේකම් විසින් නම් කරන ලද කමිටුවක් මගින් පැමිණිලි විශ්ලේෂණය කිරීම.

4. අවසන් ප්‍රතිලාභී නාම ලේඛනය සැකසීම.

ඒක දැනට පැවතගෙන එන යන්ත්‍රණයක්. ඒ ප්‍රදේශයේ ඉන්න දේශපාලන අධිකාරිය සමඟ සාකච්ඡා කරලා ඒ යන්ත්‍රණයේත් යම් යම් සංශෝධන කරන්න ඉදිරියේදී අපි කටයුතු කරනවා.

(iv) ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් නිවාස අහිමි වූ නිවාස සැපයීමට නොහැකි වූ ඉතිරි පවුල් සඳහා 2023 වසර අවසන් වීමට පෙර අය වැය ප්‍රතිපාදන අනුව නිවාස ලබා දීමේ කටයුතු සැලසුම් කර ඇත.

(ඈ) අදාළ නැත.

පිළිතුරු දුන් දිනය

2021-04-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks