04

E   |     |  

 දිනය: 2020-11-26   පිළිතුර ලබා දී ඇත 

0732/2020: ඊ-කොමර්ස් හරහා භාණ්ඩ අළෙවිය: පහසුකම් සැලසීම

732/2020 ගරු කේ.පී.එස්. කුමාරසිරි මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) වි‍දේශ රටකට භාණ්ඩ අලෙවිය සඳහා ඇති පහසුම ක්‍රමය “ඊ කොමර්ස්” (E - Commerce) වෙබ් අඩවියක් හරහා අලෙවිය වන බැවින් මේ සඳහා ලෝකයේ මිලියන 305ක පමණ ජනතාවක් “පේ පෑල්” (PayPal) “ගේට්වේ” (Gateway) භාවිතා කරන බවත්; (ii) ශ්‍රී ලංකාවේ නිෂ්පාදන විදේශයන්ට අලෙවියට ඉහත ක්‍රමය භාවිතා කළ හැකි බවත්; (iii) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ක්‍රමය ශ්‍රී ලංකාවේ විවෘත කර නොතිබීමෙන් භාණ්ඩයක්/සේවාවක් ‍විදේශයන්ට අලෙවි කර, විදේශ විනිමය ලැබිය හැකි ආදායම් මාර්ග ඇහිරී ඇති බවත්; (iv) ශ්‍රී ලංකාවේ ඇති “ඔන්ලයින්” (Online) ක්‍රමයට සේවා සපයන ආයතන, විදේශයන්වල ලිපිනයන් භාවිතා කරමින්“පේපෑල්” (PayPal) ගිණුම් සකස් කරන බවත්; (v) මේ හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු විශාල මුදලක්, කොමිස් වශයෙන් විදේශයන්ට ගෙවීමට සිදුව ඇති බවත්; එතුමා දන්නෙහිද? (ආ) (i) ශ්‍රී ලංකාවේ නිෂ්පාදන/සේවාවන් “ඔන්ලයින්” (Online) ක්‍රමයට විදේශයන්ට අලෙවි කිරීම සඳහා පවතින බාධාවන් ඉවත් කිරීමට පියවර ගන්නේද; (ii) එසේ නම්, එම පියවර කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-26

අසන ලද්දේ

ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)           (i)      පේපෑල් යනු ඇමරිකා එක්සත් ජනපදය පදනම් කරගත්, 'ඊ කොමර්ස් ' යෙදුම් සේවා සැපයුම්කරුවෙක් වන, විශාල හා ජනප්‍රිය අන්තර්ජාල ගෙවීම් දොරටුවකි. පේපෑල් මංගත වෙළඳාම සඳහා ආරක්ෂිත ගෙවීම් ක්‍රමයක් ලෙස ප්‍රධාන වශයෙන් භාවිත කරයි. දැනට, පේපෑල් පහත දැක්වෙන කාණ්ඩ යටතේ රටවල්/කලාප 200කට වැඩි ගණනකට සේවා සපයයි.

i.       මුදල් යැවීම (send), ලැබීම (receive) සහ ආපසු ගැනීම (withdraw) සමඟ අතිරේක විශේෂාංග.

ii. මුදල් යැවීම  (send), ලැබීම  (receive), සහ ආපසු ගැනීම (withdraw).

iii. මුදල් යැවීම (send), පමණක් නමුත් ලැබීම  (receive) කළ නොහැක.

2020 දෙවන කාර්තුවේදී ලොව පුරා සක්‍රීය පේපෑල් ගිණුම් මිලියන 346ක් තිබුණි.  (මූලාශ්‍රය: statista.com)

(ii) ප්‍රධාන වශයෙන් මංගත වෙළඳාමේදී භාණ්ඩ හා සේවා විකිණීමෙන් හෝ මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකාවට අරමුදල් ලබා ගැනීමට හෝ යැවීමට පේපෑල් භාවිත කළ හැකිය. නමුත් මේ වන විට පේපෑල් විසින් ශ්‍රී ලංකාවට, භාණ්ඩ හා සේවා මිලදී ගැනීමෙන් පසු මුදල් යැවීමේ පහසුකම (money send facility) පමණක් ලබා දී ඇත.

(iii) පේපෑල් විසින් ශ්‍රී ලංකාව "මුදල් යැවීම පමණක්" (money send only) රටක් ලෙස වර්ගීකරණය කර ඇත. පසුගිය වසර අටක සිට පේපෑල් ලැබීමේ (money receive facility) පහසුකම සක්‍රීය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව කිහිප වතාවක් ඇමරිකා එක්සත් ජනපදය, සිංගප්පූරුව සහ ඉන්දියාව පේපෑල් නිලධාරින් සහ රජයේ බලධාරින් සමඟ කරුණු දක්වා ඇත.

  (iv) ශ්‍රී ලංකාව සඳහා අංග සම්පූර්ණ පේපෑල් සේවාවක් (money receive facility) ලබා ගත් පසු, පරිශීලකයින්ට ඔවුන්ගේ දේශීය විද්‍යුත් ලිපිනයන් වෙත ගිණුම් නිර්මාණය කළ හැකි අතර ඔවුන්ගේ දේශීය පේපෑල් ගිණුම්වලට මුදල් ලබා ගත හැකිය.

(v) පේපෑල් යනු ශ්‍රී ලංකාවෙන් පිටත ක්‍රියාත්මක වන ස්වාධීන මුදල් හුවමාරු යන්ත්‍රණයක් බැවින් එවැනි ගිණුම් නිර්මාණය කිරීම පිළිබඳ තොරතුරු සොයා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවට නොහැකිය. එහි කාර්යයන් ශ්‍රී ලංකාවේ රෙගුලාසි යටතේ නොමැත. එබැවින්, විදේශ රටවලට ගලා යන කොමිස් මුදල අධීක්ෂණය කිරීමට හා ගණනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට නොහැකිය.

(ආ) (i) වර්තමානයේදී ශ්‍රී ලංකාව යනු පේපෑල් පද්ධතිය තුළ මුදල් යැවීමේ (money send facility) හැකියාව පමණක් ඇති රටකි. මෙම මුදල් ලබා ගැනීමේ පහසුකම (money receive facility) ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කිසිදු බාධකයක් නිර්මාණය නොකරයි. 2013 සිට ශ්‍රී ලංකා මහ බැංකුව මෙම පහසුකම ශ්‍රී ලංකාවට ලබා ගැනීමට උත්සාහ කරයි. පේපෑල් මුදල් ලැබීමේ පහසුකම (money receive facility) පිළිබඳ සමස්ත අවබෝධය ලබා ගැනීම සඳහා පේපෑල් විසින් ඔවුන්ගේ යෝජනා ශ්‍රී ලංකාවට ඉදිරිපත් කළ යුතුය.

(ii) පේපෑල් සිය යෝජනා ඉදිරිපත් කළ පසු ශ්‍රී ලංකා මහ බැංකුව පේපෑල් අධිකාරිය සමඟ වැඩ කිරීමට කැමැත්තෙන් පසුවෙයි. පේපෑල්වලට අමතරව, මංගත වෙළඳාමේදී භාවිත කළ හැකි තවත් මංගත ගෙවීම් ක්‍රම කිහිපයක් තිබේ. (උදා: PayHere, Direct Pay සහ WebxPay) භාණ්ඩ හා සේවා විකිණීමෙන් විදේශ මුදල් ගෙන ඒමට ශ්‍රී ලංකාවට මෙම ගෙවීම් ක්‍රම භාවිත කළ හැකිය.

a. Xoom

Xoom යනු ශ්‍රී ලංකාවට ක්ෂණිකව මුදල් හුවමාරු කළ හැකි සේවාවකි. ප්‍රමුඛ ඩිජිටල් මුදල් හුවමාරු සැපයුම්කරුවෙකු වන Xoom කෝපරේෂන් 2015 දී සිය මුදල් හුවමාරු සේවාව ශ්‍රී ලංකාවට දියත් කරන බව නිවේදනය කළේය. Xoom දේශීය වාණිජ බැංකු සමඟ හවුල් වී ඇති අතර Xoom  හි මුදල් හුවමාරු සේවා දැන් රටවල් 33ක් දක්වා ව්‍යාප්ත වී පවතී.

b. Skrill

Skrill යනු අඩු වියදම් ජාත්‍යන්තර මුදල් හුවමාරුව කෙරෙහි අවධානය යොමු කරමින් අන්තර්ජාලය හරහා ගෙවීම් සහ මුදල් හුවමාරුව සිදු කිරීමට ඉඩ සලසන "ඊ කොමර්ස්" ව්‍යාපාරයකි.

c. Payoneer

Payoneer යනු මංගත මුදල් හුවමාරුව සහ ඩිජිටල් ගෙවීම් සේවා සපයන මූල්‍ය සේවා සමාගමකි. ගිණුම් හිමියන්ට ඔවුන්ගේ බැංකු ගිණුමට, Payoneer ඊ-පසුම්බියට හෝ නැවත පූරණය කළ හැකි පෙර ගෙවුම් මාස්ටර් කාඩ් බැර කාඩ්පතකට අන්තර්ජාලය හරහා හෝ විකිණීමේ ස්ථානයකදී මුදල් යැවීම හෝ ලැබීම කළ හැකිය.

d. Earthport

දේශ සීමා අතර ගනුදෙනු ආසියාවට පුළුල් කළ Earthport, දේශ සීමා අතර ගනුදෙනු සඳහා ප්‍රමුඛ පෙළේ ගෙවීම් සේවා සැපයුම්කරුවෙකි.

(ඇ) පැන නොනගී.

 

 

පිළිතුරු දුන් දිනය

2021-04-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks