පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
640/2020
ගරු රවුෆ් හකීම් මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි බප / කො / ජයන්ති විද්‍යාලය, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වලට අයත් ළමයින් අධ්‍යාපනය හදාරන, 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන පාසලක් බව එතුමා දන්නෙහිද?
(ආ) (i) එම පාසලේ වර්තමාන තත්ත්වය සොයා බැලීම සඳහා වගකිවයුත්තන් අවසන් වරට එම පාසල නිරීක්ෂණය කළ දිනය කවරේද;
(ii) පාසල වටා ඇති අනතුරුදායක තාප්පය ප්‍රතිසංස්කරණය කිරීම, අභ්‍යන්තර කාණු පද්ධතිය, ගොඩනැගිලි දැල් ආවරණය, අභ්‍යන්තර ප්‍රවේශ මාර්ගය, ජල සහ විදුලි පද්ධතිය, පන්ති කාමර, වැසිකිලි හා කැසිකිලි පහසුකම්, පරිගණක යන්ත්‍ර අවශ්‍යතා, ගුරු හිඟය හා මුරකරු තනතුරක පවතින හිඟය ආදී අවශ්‍යතා සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නේද;
(iii) එසේ නම්, එම පාසලේ දීර්ඝ කාලයක් තිස්සේ පවතින එකී අඩුපාඩු සපුරාලීමට කඩිනම් පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2021-01-08
අසන ලද්දේ
ගරු නීතිඥ රවුෆ් හකීම් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) ඔව්.
බප/කො/ජයන්ති විද්‍යාලය කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ කොස්ගස් හන්දිය, ස්වරණ චෛත්‍ය පාරේ පිහිටා ඇති, කොළඹ අධ්‍යාපන කලාපයට අයත් බස්නාහිර පළාත් සභාව යටතේ පාලනය වන පාසලකි.
(ආ) (i) අවසාන වරට මෙම පාසල 2020.02.13 වන දින මැද කොළඹ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් අධීක්ෂණය කර ඇත.
(ii) දක්වා ඇති අවශ්‍යතා පිළිබඳ අවධානය යොමු කර තිබේ.
2019 වසරේදී කොළඹ අධ්‍යාපන කාර්යාලයේ සංවර්ධන අධ්‍යක්ෂවරිය විසින් මෙම පාසල අධීක්ෂණය කර ඇති අතර එහිදී ද මෙම අඩුපාඩු හඳුනා ගෙන ඇත.
(iii) සංවර්ධන අධ්‍යක්ෂවරිය විසින් අඩුපාඩු හඳුනාගත් පසු එම වසරේදී මෙම කාර්යයන් සඳහා කොළඹ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලය මඟින් ඇස්තමේන්තු ලබාගෙන ඇත.
එනම්, මෙම විද්‍යාලයේ මායිම් තාප්පය (පන්සල ප්‍රදේශයේ) අඩි 60ක පමණ ප්‍රමාණය නැවත ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 09ක ප්‍රමාණයක්ද, විදුලි පද්ධතියේ සම්පූර්ණ අලුත්වැඩියාව සඳහා රුපියල් ලක්ෂ 10.5ක ප්‍රමාණයක්ද ඇස්තමේන්තු කර තිබේ. ඇස්තමේන්තු කැඳවීමේදී පවතින තත්ත්වය පිළිබඳ නිරීක්ෂණ ලබා දෙන ලෙස ප්‍රාදේශීය ඉංජිනේරු වෙත දන්වන ලද අතර ඉතා අවදානම් බවක් හෝ කඩා ඉවත් කිරීමේ අවශ්‍යතාවක් පිළිබඳව වාර්තා කර නැත. මෙම ඇස්තමේන්තු සඳහා ප්‍රතිපාදන වෙන් කර ගැනීමට 2020 වාර්ෂික සංවර්ධන සැලැස්මට ඇතුළත් කරන ලදී. එහෙත් 2019 වසරේදී පාර්ලිමේන්තුවේ හෝ බස්නාහිර පළාත් සභාවේ අය වැයක් ඉදිරිපත් නොවුණු නිසා 2020 වසර සඳහා නියමිත පරිදි ප්‍රාග්ධන අරමුදල් වෙන් නොවුණි. බස්නාහිර පළාත් සභාවේ පරිපූරක ඇස්තමේන්තුවක් මඟින් ඉතා සීමිත ප්‍රතිපාදන ප්‍රමාණයක් පාසල් සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන් කරන ලදී. එම ප්‍රතිපාදන පූර්ව වර්ෂයේ අතැති බිල්පත් ගෙවීමට හා ඉතාම අත්‍යවශ්‍ය ව්‍යාපෘතීන් ඉටු කිරීමට පමණක් ආයෝජනය කරන ලදී. එබැවින්, ඉහත ඇස්තමේන්තු අනුව ව්‍යාපෘති ඉටු කිරීම සඳහා ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවුණි.
2020 වසරේ ඉටු කිරීමට නොහැකි වූ ව්‍යාපෘති 2021 වසර සඳහා වන සංවර්ධන සැලැස්මට ඇතුළත් කර ඇත. ඒ අනුව මෙම ව්‍යාපෘතිය ද 2021 සංවර්ධන සැලැස්මට ඇතුළත් කර ඇත. සංවර්ධන සැලැස්මේ ව්‍යාපෘතීන්ගේ අවශ්‍යතා ප්‍රමුඛතාකරණය අනුකූලව 2021 වසරේ මේ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමට අපේක්ෂිත වේ.
පන්ති කාමර හිඟතාවයක් නොමැති අතර ශිෂ්‍ය සංඛ්‍යාව අනුව වැසිකිළි පහසුකම් ප්‍රමාණවත් වේ. මෙම පාසලේ බාලක වැසිකිළි 6ක් ද බාලිකා වැසිකිළි 5ක් ගුරු වැසිකිළි 2ක් ද භාවිතයේ පවතී. ඒවායේ ඇති වන සුළු නඩත්තු කටයුතු සඳහා පාසල් වෙත ලබා දෙන ගුණාත්මක යෙදවුම් නඩත්තු අළුත්වැඩියා මූල්‍ය ලබාදීම් යොදා ගැනීමට විදුහල්පතිවරුන් දැනුවත් කර ඇත.
මෙම විද්‍යාලයේ කානු පද්ධතිය හා පන්තිකාමර දැල් ආවරණ ආදිය සකස් කිරීමට ඉදිරි වසර වලදී මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිතව තිබේ.
2021 වාර්ෂික සංවර්ධන සැලැස්ම මඟින් පරිගණක අවශ්‍යතා සුපරාලීමට නියමිතය.
මෙම විද්‍යාලයේ සිටිය යුතු ගුරු සංඛ්‍යාව 26ක් වන අතර දැනට මෙම විද්‍යාලයේ ගුරුභවතුන් 26ක් සේවයේ යෙදී සිටී. එබැවින් ගරු හිඟයක් නොමැත.
කොළඹ කලාපයේ පාසල් ගණනාවකට මුරකරුවන් හිඟතාවයක් පවතින පැවින් ඒ සඳහා මුරකරුවන් පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉල්ලීම් බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇත. අමාත්‍යාංශය විසින් එය ප්‍රධාන ලේකම් වෙත යොමුකර ඇති අතර ඒ සඳහා අනුමැතිය ලැබී නියමිත පරිදි නව මුරකරුවන් බඳවා ගත් වහාම මෙම පාසලට මුරකරුවන් පුරප්පාඩු සම්පූර්ණ කිරීමට පියවර ගත හැක.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-01-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks