පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
483/2020 ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා,— කෘෂිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාවේ වගා බිම්වල පලිබෝධ නාශක, වල් නාශක සහ පොහොර භාවිතය පිළිබඳ පර්යේෂණයක් සිදු කර තිබෙන බවත්; (ii) පලිබෝධ නාශක, වල් නාශක සහ පොහොර භාවිතකර වගා කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටින රටක් බවට පත්ව තිබෙන බවත්; එතුමා දන්නෙහිද? (ආ) පලිබෝධ නාශක, වල් නාශක සහ පොහොර භාවිතකර වගා කටයුතු සිදුකිරීම අවම කිරීමට අමාත්‍යාංශය ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2020-10-23
අසන ලද්දේ
ගරු තුෂාර ඉඳුනිල් අමරසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) නැත.
ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාවේ වගා බිම්වල පළිබෝධ නාශක, වල් නාශක සහ පොහොර භාවිතය පිළිබඳ පර්යේෂණ ආයතනයක් ලෙස කටයුතු නොකරයි.
(ii) නැත.
රසායනික පළිබෝධ නාශක භාවිත කරන රටවල් අතරින් ශ්‍රී ලංකාව පහළ මධ්‍යම මට්ටමේ පවතින රටක් වශයෙන් සඳහන් කළ හැකි ය.
2016 වර්ෂය සැලකිල්ලට ගත් විට ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද කෘෂිකාර්මික පළිබෝධ නාශක ප්‍රමාණයේ ඇතුළත් සක්‍රීය සංඝටක ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් 1,695ක ප්‍රමාණය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික බිම් ප්‍රමාණයෙන් බෙදූ විට වගා බිම් හෙක්ටෙයාරයක් සඳහා යොදන පළිබෝධ නාශක සක්‍රීය සංඝටක ප්‍රමාණය ග්‍රෑම් 308කි.
ඉන්දියාව, තායිලන්තය, ඇමෙරිකා එක්සත් ජනපදය, මලයාසියාව, චීනය, දකුණු කොරියාව සහ ජපානය යන රටවල්වල මෙම ප්‍රමාණ පිළිවෙළින් ග්‍රෑම් 290, 1930, 2380, 6380, 10550, 12710 සහ 14010 වේ.
2017 වර්ෂය සැලකිල්ලට ගත් විට වගා බිම් හෙක්ටෙයාරයක් සඳහා පළිබෝධ නාශක භාවිත කර ඇත්තේ සක්‍රීය සංඝටක ග්‍රෑම් 300ට අඩු ප්‍රමාණයකි.
ආහාර කෘෂිකර්ම සංවිධානයේ 2016 වසරේ සංඛ්‍යා ලේඛනවලට අනුව ආසියානු රටවල් 43කින් රසායනික පොහොර පරිභෝජනය කරන ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාව සිටින්නේ 26වන ස්ථානයේය.
2019 සංඛ්‍යා ලේඛනවලට අනුව රටවල් 163ක් අතරින් ශ්‍රී ලංකාව හෙක්ටෙයාරයට කිලෝග්‍රෑම් 152ක් පමණක් භාවිත කර 61වන ස්ථානයට පත්වී ඇත.
සිංගප්පූරුව හෙක්ටෙයාරයට කිලෝග්‍රෑම් 3477 ප්‍රමාණයක් පරිභෝජනය කරමින් පළමු ස්ථානයේ සිටී.
(ආ) ඔව්.
පළිබෝධ නාශක, වල් නාශක හා පොහොර භාවිත කර වගා කටයුතු කිරීම අවම කිරීම පිණිස පහත සඳහන් ක්‍රියාමාර්ග ගෙන ඇත.
යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (Good Agricultural Practices) අනුගමනය කිරීම.
දේශීය හා පරිසර හිතකාමී ක්‍රමවේද හා ඒකාබද්ධ පළිබෝධ පාලන විධි විවිධ භෝග කාණ්ඩ සඳහා පවත්වාගෙන යාම ප්‍රචලිත කිරීම.
ප්‍රතිරෝධි ප්‍රභේද භාවිත කිරීම.
යාන්ත්‍රික පාලනය.
ජීව විද්‍යාත්මක පාලනය.
1980 අංක 33 දරන පළිබෝධ නාශක පාලනය කිරීමේ පනත යටතේ පවතින නීති ප්‍රතිපාදන අනුව අනිවාර්ය ලියා පදිංචි ක්‍රියාවලිය සහ ආනයන අපනයන ක්‍රියාවලිය මඟින් පළිබෝධ නාශක පාලනය සිදු වේ.
අධික අන්තරායකාරී පළිබෝධ නාශක පාලන කිරීමේ එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික සම්මුතීන්ට (ස්ටෝක්හෝම් සම්මුතිය, රොටර්ඩෑම් සම්මුතිය) අනුකූලව ලැයිස්තුගත හෝ අධික අන්තරායකර යැයි සැලකෙන පළිබෝධ නාශක අඩංගු කිසිදු සංයෝජනයක් ශ්‍රී ලංකාවේ භාවිත නොවේ. පොහොර භාවිතය කාර්යක්ෂම කිරීම තුළින් අනවශ්‍ය ලෙස පසට පොහොර එකතු වීම වැළැක්වීම පිණිස පහත ක්‍රියාමාර්ග ගෙන ඇත.
භෝගයේ අවශ්‍යතාව අනුව සෑම ආහාර භෝගයක් සඳහාම පොහොර නිර්දේශ සකස් කර ප්‍රකාශනයට පත් කර ගොවීන් දැනුවත් කර ඇත.
පොහොර භාවිතය කාර්යක්ෂම කිරීම සඳහා පස් පරීක්ෂා කිරීමේ කටයුතු දීප ව්‍යාප්තව සිදු කරමින් පවතී. ඊට අමතරව ගොවි ක්ෂේත්‍රවලට ගොස් පස් පරීක්ෂා කිරීමට "පස් පරීක්ෂා කට්ටල" (Soil Testing Kits) ගොවිජන සේවා මධ්‍යස්ථානවලට ලබා දීමට කටයුතු කරනු ඇත.
පසට කාබනික පොහොර යෙදීම නිර්දේශ කර ඇත.
ඒකාබද්ධ පෝෂක කළමනාකරණ ගොවීන් වෙත හඳුන්වා දී ඇත.
රසායනික පොහොර භාවිතය අවම කිරීම සඳහා විවිධ වූ ජෛව පොහොර වර්ග හඳුන්වා දී ඇත.
කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් පරිසර හිතකාමී පොහොර දිරිගැන්වීම සඳහා 2020 යල කන්නයේදී වී වගාව සඳහා රසායනික පොහොර වෙනුවට පරිසර හිතකාමී පොහොර සහනාධාර යටතේ ලබා දී ඇත. වසර තුනක් ඇතුළත රසායනික පොහොර භාවිතය ක්‍රමයෙන් අඩු කර කාබනික පොහොර භාවිතය සියයට 30 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2021-04-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks