04

E   |     |  

 දිනය: 2020-11-18   පිළිතුර ලබා දී ඇත 

0432/2020: මහපොළ ශිෂ්‍යත්වලාභින්: විස්තර

432/2020 ගරු ශාන්ත බණ්ඩාර මහතා,— ‍වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) අඩු ආදායම්ලාභී පවුල්වලින් රජයේ විශ්වවිද්‍යාලවලට තෝරාගනු ලබන සිසුන් සඳහා මහපොළ ශිෂ්‍යත්ව ලබා දෙන බව එතුමා දන්නෙහිද? (ආ) (i) 2020 වර්ෂයේදී මහපොළ ශිෂ්‍යත්වය ලබා දුන් සමස්ත ශිෂ්‍යත්වලාභින් සංඛ්‍යාව; (ii) එම ශිෂ්‍යත්වය ලැබීම සඳහා තිබිය යුතු අවම සුදුසුකම්;‍ කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) (i) මහපොළ ශිෂ්‍යත්වය ලැබීම සඳහා සුදුසුකම් තිබුනද එම ශිෂ්‍යත්වය නොලැබෙන සිසුන් පිරිසක් සිටින බව පිළිගන්නේද; (ii) එවැනි සිසුන් සඳහා සාධාරණයක් ඉටු කිරීමට පියවර ගන්නේද; යන්නත්‍ එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-18

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       ඔව්. අඩු ආදායම්ලාභි පවුල්වලින් රජයේ විශ්වවිද්‍යාලවලට තෝරාගනු ලබන සිසුන්ට අමතරව උසස් පෙළ විභාගයේ ඉහළ කුසලතාවක් පෙන්වූ සිසුන් සඳහා ද කුසලතා ශිෂ්‍යත්ව මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලින් ලබා දෙනු ලැබේ.

 

(ආ)         (i)      2020 වර්ෂයේ 2018/19 අධ්‍යයන වර්ෂයට අදාළව සිසුන් 14,969ක් සඳහා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනමා ඇත.

(ii) අඩු ආදායම්ලාභි සිසුන්ගේ පවුලේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 05ක් හෝ ඊට අඩුවෙන් තිබීම.

කුසලතා ශිෂ්‍යත්වය සඳහා ඉහළ Z අගය ලබා තිබීම.

(ඇ) (i) මහපොළ ශිෂ්‍යත්වයක් ලබා දීම සඳහා සලකා බලන පවුලේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 05ට අඩු පවුල්වල සිසුන්ට වුවද මහපොළ ශිෂ්‍යත්වයක් නොලැබෙන අවස්ථා ඇත.

මහපොළ අරමුදලේ මූල්‍ය තත්ත්වය අනුව වාර්ෂිකව වෙන් කරනු ලබන ශිෂ්‍යත්ව සංඛ්‍යාව තීරණය කරනු ලැබේ. එම ශිෂ්‍යත්ව සංඛ්‍යාවට වඩා පවුලේ වාර්ෂික ආදායම අනුව සුදුසුකම් ලබන සිසුන් සංඛ්‍යාව වැඩි වන අවස්ථාවල සිසුන් විසින් උසස් පෙළ විභාගයේදී ලබා ඇති වැඩි Z අගය මත මහපොළ ශිෂ්‍යත්වය සඳහා තෝරාගනු ලැබේ.

(ii) මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වය සඳහා සිසුන් තෝරා ගත් පසු තවදුරටත් ඉතිරිවන අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන් සඳහා අදාළ විශ්වවිද්‍යාල මඟින් ලබා දෙන ශිෂ්‍යාධාර ක්‍රමයක් ක්‍රියාත්මක වේ.

(ඈ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2020-12-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks