බලන්න

04

E   |     |  

 දිනය: 2021-01-07   පිළිතුර ලබා දී ඇත 

0425/2021: වයඹ ඇළ ව්‍යාපෘතිය සඳහා අත්කර ගත් ඉඩම්: වන්දි

425/2020

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      මේ වනවිට ඉදිකරමින් පවතින වයඹ ඇළ ව්‍යාපෘතියේ වර්තමාන තත්ත්වය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? 

(ආ)        (i)      ඉහත ව්‍යාපෘතිය සඳහා අත්කර ගත් සින්නක්කර ඉඩම් හිමියන් සඳහා වන්දි ගෙවීම අක්‍රමවත් බවත්;

             (ii)      විහාර සන්තක ඉඩම් සඳහා වන්දි ගෙවීමේදී, එම ඉඩම් භුක්තිවිඳින්නන් සඳහා ගෙවනු ලබන වන්දි ප්‍රමාණවත් නොවන බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ඇ) එසේ නම්, ඒ සඳහා සාධාරණ පරිදි වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන්නේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) (i) මේ වනවිට ඉදිකිරීම් කරනු ලබන රංවැඩියාව කොටසේ ඇළෙහි ගැඹුර අඩි 40කට වඩා වැඩිවීම හේතුවෙන් ඒ අවට පානීය ළිං හා කෘෂි ළිං සිඳී යාමෙන් ජනතාව දැඩි පීඩාවට පත්වී ඇති බවත් පිළිගන්නේද;

(i​i) එසේ නම්, එම ජනතාව සඳහා කඩිනමින් විසඳුම් ලබා දෙන්නේද;

(iii) එම විසඳුම් කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2021-01-07

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       වයඹ පළාත් මහ ඇළ ව්‍යාපෘතිය යටතේ පළමු අදියරේ ඉදිකිරීම් පැකේජ 2ක් යටතේ මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

(ආ)         (i)      එකඟ නොවේ. වන්දි ගෙවීම් කටයුතු සිදු කරනු ලබන්නේ ඉඩම් අත්කර ගැනීම පිළිබඳ වූ 460 අධිකාරි පනතේ දක්වා ඇති විධිවිධාන ප්‍රකාරව වන බැවින් එහි කිසිදු අක්‍රමවත් බවක් නොදකිමි.

                        මේ වන්දි ගෙවීම අක්‍රමවත් කියන එකෙන් ඔබතුමිය අදහස් කළේ මොකක්ද කියා මම දන්නේ නැහැ. එහෙම කිව්වේ, වැරදි පුද්ගලයන්ට ගෙවලාද, එහෙම නැත්නම් තක්සේරු මුදලේ අඩුකමක්ද?   ඒක මට පසුව කියන්න.

(ii) එකඟ නොවෙමි. මෙහිදී වන්දි ගෙවනු ලබන්නේ ඉඩමේ සින්නක්කර හිමිකම සතු මහා භාරකාර තැන වෙත ය. එහෙත් එම ඉඩම් භුක්තිවිඳින බදුකරුවන් සඳහා නියමිත සංවර්ධන වටිනාකමට අදාළ වන්දි මුදල් ගෙවීම් සියල්ල කර ඇත. මෙයට අමතරව මෙම ව්‍යාපෘතියේ විහාර සන්තක ඉඩම්වල පදිංචි පුද්ගලයන්ගේ දුක්ගැනවිලි පිළිබඳව විශේෂයෙන් සලකා බලා ඔවුන්ට ප්‍රමාණවත් සංවර්ධන වටිනාකමක් තක්සේරු නොවීම හේතුවෙන් විශේෂ අමාත්‍ය මණ්ඩල අනුමැතියක් මඟින් මහා භාණ්ඩාගාරය වෙතින් ලබා දෙන ව්‍යවස්ථාපිත වන්දි මුදලට, සියයට 50ක අමතර වන්දි මුදලක් ද එකතුකොට විහාර සන්තක ඉඩම්වල බදුකරුවන් වෙත ගෙවා ඇති බවත් දන්වමි.

(ඇ) ගෙවිය හැකි උපරිමය මේ වන විටත් ගෙවා ඇත.

(ඈ) (i) ඔව්.

(ii) විසඳුම් දැනටමත් ලබා දී ඇත.

(iii) ජලය ගබඩා කර ගැනීම සඳහා ජල ටැංකි සපයා දී බවුසර් මඟින් ජලය ලබා දීම සිදුකෙරෙමින් ඇත.

(ඉ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2021-01-07

විසින් පිළිතුරු දෙන ලදී

ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks