බලන්න

04

E   |     |  

 දිනය: 2020-11-06   පිළිතුර ලබා දී ඇත 

0422/2020: මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය: වන්දි

422/2020 ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— මහාමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) යෝජිත මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ හතරවන අදිය‍රෙහි (කුරුණෑගල - දඹුල්ල) වර්තමාන තත්ත්වය මෙම සභාවට දන්වන්නේද; (ii) ඉහත ව්‍යාපෘතිය හේතුවෙන් දේපළ අහිමි වන්නන් සඳහා ගෙවනු ලබන වන්දි මුදල පිළිබඳව මේ වනවිට නිශ්චය කර තිබේද; (iii) එසේ නම්, එය මෙම සභාවට ඉදිරිපත් කරන්නේද; (iv) ඉහත ව්‍යාපෘතිය හේතුවෙන්, විහාර සන්තක දේපළ භුක්ති විඳින්නන්ගේ අහිමිවන දේපළ සඳහා වන්දි‍ ගෙවනු ලබන ආකාරය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ආ) ඉහත ව්‍යාපෘතිය සඳහා වන්දි ගෙවීමේදී— (i) භූමිය සඳහා ගෙවීම් කරන අනුපාතය; (ii) සංවර්ධන වටිනාකම සඳහා ගෙවීම් කරන ආකාරය; කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-11-06

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මේ වනවිට ඉඩම් අත්කර ගැනීමේ පනත අනුව ඉඩම් අත්කර ගැනීමේ ක්‍රියාවලිය කරමින් පවතින අතර ඉදිකිරීම් කටයුතු සඳහා කොන්ත්‍රාත්කරුවෙකු හා උපදේශක සමාගමක් තෝරා ගැනීම සඳහා වන ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කර ඇත.

              (ii)      ඔව්.

             (iii)      ව්‍යාපෘතිය සඳහා අත්කර ගනු ලබන දේපළ වෙනුවෙන් වන්දි ගෙවීම සඳහා වියදම වශයෙන් රුපියල් බිලියන 10ක මුදලක් ඇස්තමේන්තු කර ඇත.

(iv) ඉඩම් අත්කර ගැනීමේ පනතෙහි සඳහන් ආකාරයට, විහාර දේවාලගම් ආඥාපනත යටතේ පාලනය වන ඉඩම් සඳහා 1931 අංක 19 දරන විහාර දේවාලගම් ආඥාපනත සහ 1944 අංක 28 දරන වන්දි ගෙවීමේ නියෝගය අනුව වන්දි ගෙවීම් සිදු කරනු ලබයි.

(ආ) (i)   අත්කර ගැනීමේ නිලධාරි විසින් ඉඩම් අත්කර ගැනීමේ පනතේ 10 (1) වගන්තිය යටතේ හිමිකම තීරණය කරන පරිදි වන්දි මුදල් ගෙවනු ලබයි. ඒ අනුව, පාර්ශ්ව කිහිපයක් වෙත හිමිකම සහිත හෝ භුක්ති විඳින ඉඩම සඳහා වන්දි ගෙවිය යුතු අනුපාතය ඔවුනට ඇති හිමිකම අනුව අත්කර ගැනීමේ නිලධාරි විසින් තීරණය කරනු ලබයි.

       (ii) රජයේ සහ විශේෂ අණපනත් මඟින් පාලනය වන, භුක්ති විඳීම නිසා අයිතිය හිමි නොවන ඉඩම්වල (කාලාවරෝධ අයිතියක් නොමැති ඉඩම්) අනවසර පදිංචිකරුවන් සඳහා තක්සේරු        දෙපාර්තමේන්තුව මඟින් තක්සේරු කරනු ලබන සංවර්ධන වටිනාකම ගෙවනු ලබයි.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2020-12-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks