01

E   |     |  

 දිනය: 2020-09-15   පිළිතුර ලබා දී ඇත 

0417/2020: වී ඔය ජලාශය ඉදි කිරීම: අවතැන් වන පවුල්

417/2020

ගරු සුජිත් පෙරේරා මහතා,— වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       කෑගල්ල දිස්ත්‍රික්කයේ, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වී ඔය නමින් ජලාශයක් ඉදිකිරීමට සැලසුම් කර තිබේද;

             (ii)       එසේ නම්, එම ජලාශය ඉදිකිරීමේ අරමුණු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මෙම ජලාශය ඉදි කිරීමෙන් අවතැන් වන පවුල් සංඛ්‍යාව;

(ii) එම අවතැන් වන පවුල් නැවත පදිංචි කිරීමට ගනු ලබන පියවර;

(iii) මෙම ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන්වන පුද්ගලයන්ගේ නිවාසවලට හා ඉඩම්වලට වන්දි ලබා දෙන ක්‍රමවේදය;

(iv) එම අවතැන් වන ජනතාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග;

කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? 

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2020-09-15

අසන ලද්දේ

ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      කෑගලු දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, වී ඔය නම් ජලාශය ඉදි කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනය සිදු කරමින් පවතී.

              (ii)      එම ජලාශය බහු කාර්ය ජලාශයක් ලෙස සැලසුම් කර ඇති අතර, එමඟින් පහළ ගංගා ද්‍රෝණියේ ගංවතුර පාලනයත්, කැලණි සහ අත්තනගලු ද්‍රෝණි (කෑගල්ල, කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක) සඳහා පානීය ජලය සැපයීමටත්, ජල විදුලි බලය නිපදවීමටත් අපේක්ෂා කරනු ලබයි.

(ආ) (i) මෙම ජලාශය සඳහා වන ශක්‍යතා අධ්‍යයනයේදී සිදු කරනු ලබන සමාජීය සමීක්ෂණය අවසන් වන තෙක් අවතැන් වන පවුල් සංඛ්‍යාව නිශ්චිත වශයෙන් සඳහන් කළ නොහැක.

(ii) තවම ශක්‍යතා අධ්‍යයන මට්ටමේ වන බැවින් නැවත පදිංචි කිරීම සඳහා වන පියවර ගෙන නොමැත.

(iii) වන්දි ලබා දෙන ක්‍රමවේද  තවම තීරණය කර ‍නැත.

(iv) තවම අධ්‍යයන මට්ටමේ වන බැවින් මෙම ජලාශය සම්බන්ධයෙන් කිසිම තීරණයක් ගෙන නොමැත.

(ඇ) මෙම ජලාශය සඳහා වන ශක්‍යතා අධ්‍යයනය අවසානයේ දී සිදු කරනු ලබන පාරිසරික බලපෑම් ඇගයීමේ අධ්‍යයනවල දී (EIA) ඉහත කරුණු පිළිබඳ ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග කවරේද යන්න ඉදිරිපත් කරනු ඇත.

 

පිළිතුරු දුන් දිනය

2020-09-25

විසින් පිළිතුරු දෙන ලදී

ගරු චමල් රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks