01

E   |     |  

 දිනය: 2020-10-06   පිළිතුර ලබා දී ඇත 

0251/2020: කටුපොල් වගාව: විස්තර

251/2020

ගරු වේලු කුමාර් මහතා,— වැවිලි අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      ශ්‍රී ලංකාවේ කටු පොල් (Palm oil) වගාවේ යෙදෙන සමාගම් කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? 

(ආ)     එම එක් එක් සමාගම විසින් කටු පොල් වගා කරනු ලබන බිම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කවරේද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ)         (i)       කටු පොල් වගාකිරීමට එම වතු සමාගම්වලට බලපත්‍ර  තිබේද;

(ii) දැනට වගා කර ඇති කටු පොල් වගාවන් ඉවත් කිරීමට පියවර ගන්නේද; 

යන්න වැඩිදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2020-10-06

අසන ලද්දේ

ගරු වේලු කුමාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       වැවිලි අමාත්‍යාංශයේ වැවිලි කළමණාකරණ අධීක්ෂණ අංශය විසින් අධීක්ෂණය කරනු ලබන ප්‍රාදේශීය වැවිලි සමාගම් 09ක් කටු පොල් වගාවේ නිරත වේ. එම ප්‍රාදේශීය වැවිලි සමාගම් 09 පහත පරිදි වේ.

               1.      වටවල වැවිලි සමාගම

               2.      බොගවන්තලාව වැවිලි සමාගම

               3.      කොටගල වැවිලි සමාගම

               4.      ඇල්පිටිය වැවිලි සමාගම

               5.      අගලවත්ත වැවිලි සමාගම

6. මල්වත්තවැලි වැවිලි සමාගම

7. හොරණ වැවිලි සමාගම

8. කෑගල්ල වැවිලි සමාගම

9. නමුණුකුල වැවිලි සමාගම

ඊට අමතරව, බොගවන්තලාව වැවිලි සමාගම විසින් උප බදු දී ඇති වතු 13කද ලලාන් රබර් පුද්ගලික සමාගම විසින් කටුපොල් වගා කරනු ලබයි. එයට අමතරව, වැවිලි අමාත්‍යාංශය විසින් කිසිදු වෙනත් සමාගමක් සඳහා කටු පොල් වගාව සිදු කිරීමට අනුමැතිය, අවසරය හෝ එකඟතාවයක් ලබා දී නොමැත.

(ආ) ඉහත ප්‍රාදේශීය වැවිලි සමාගම් 09 සහ ලලාන් රබර් පුද්ගලික සමාගම විසින් 2020.01.09 වන දිනට කටුපොල් වගා කර ඇති බිම් ප්‍රමාණය (හෙක්ටයාර) එක් එක් සමාගමට වෙන් වෙන් වශයෙන් පහත පරිදි වේ.

ප්‍රාදේශීය වැවිලි සමාගම

වගාකර ඇති බිම් ප්‍රමාණය (හෙක්ටයාර)

වටවල වැවිලි සමාගම

3392.68

බොගවන්තලාව වැවිලි සමාගම

202.92

කොටගල වැවිලි සමාගම

525.88

ඇල්පිටිය වැවිලි සමාගම

1747.42

අගලවත්ත වැවිලි සමාගම

1333.95

මල්වත්තවැලි වැවිලි සමාගම

18.39

හොරණ වැවිලි සමාගම

294.96

කෑගල්ල වැවිලි සමාගම

199.70

නමුණුකුල වැවිලි සමාගම

2493.36

ලලාන් රබර් පුද්ගලික සමාගම (බොගවන්තලාව වැවිලි සමාගම යටතේ)

369.61

එකතුව

10579.37

(ඇ) (i) වැවිලි අමාත්‍යාංශය විසින් කටුපොල් වගාකිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමක් සිදු කරනු නොලැබේ.

(ii) මෙතෙක් පියවර ගෙන නොමැත.

(ඈ) මේ සම්බන්ධයෙන් අංක MPI/PMMD/10/Oil Palm - G(IV) දරන 2019.08.13 දිනැති ලිපිය මඟින් දිස්ත්‍රික් ලේකම්වරුන්, සියලු ප්‍රධාන විධායක නිලධාරින්/කළමනාකරණ අධ්‍යක්ෂකවරුන් ප්‍රාදේශීය වැවිලි සමාගම, සභාපති-වැවිලිකරුවන්ගේ සංගමය වෙත දැනුවත් කර ඇත. ඊට අමතරව කටුපොල් වගා කිරීම තහනම් කිරීම සම්බන්ධයෙන් 2019 නොවැම්බර් මස 11 වන දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයද අධිකරණයේ විභාග වන නඩුවලට මෝසමක් මඟින් ගොනු කර, ප්‍රාදේශීය වැවිලි සමාගම් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත. ඒ අනුව දැනට වගා කර ඇති කටුපොල් වගාව ඉවත් කිරීම සම්බන්ධව අධිකරණයේ විභාග වන නඩු අවසානයේ දී ඒවාට ලැබෙන තීන්දුද සැලකිල්ලට ගනිමින් ප්‍රතිපත්ති තීරණයක් ගැනීමට සිදු වේ.

 

 

පිළිතුරු දුන් දිනය

2020-10-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks