04

E   |     |  

 දිනය: 2020-10-20   පිළිතුර ලබා දී ඇත 

0150/2020: මූල්‍ය පහසුකම් සඳහා වාරික ගෙවීම: සහන කාලය

150/2020

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මූල්‍ය (Finance) පහසුකම් ලබාගත් පාරිභෝගිකයන්ට එම වාරික ආපසු ගෙවීම සඳහා කොවිඩ් - 19 වසංගත කාලයේදී රජය විසින් ලබා දීමට ‍පොරොන්දු වූ මාස 6ක සහන කාලය සම්බන්ධයෙන් අදාළ මූල්‍ය සමාගම් දැනුවත් කිරීමක් සිදු වූයේද;

(ii) එසේ නම්, එම සහනය, මූල්‍ය (Finance) පහසුකම් ලබාගත් පාරිභෝගිකයන්ට ලැබුණු බවට තහවුරු කළ හැකිද;

(iii) එම සහනය පාරිභෝගිකයන්ට නොලැබුනේ නම්, එයට හේතුව කවරේද;

(iv) එම හේතුව මත අසාධාරණයට ලක් වූ පාරිභෝගිකයන් සම්බන්ධයෙන් රජය ගනු ලබන ඉදිරි පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-10-20

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

                          සියලු  බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු,   බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත ලීසිං සමාගම් කොවිඩ් - 19 මඟින් බලපෑමට  ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන් සඳහා සහාය වීමට ලබා දෙන සහන සම්බන්ධයෙන් ශ්‍රී  ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද පහත සඳහන් චක්‍රලේඛ මඟින්  දැනුවත්  කරන ලදී.

a. "කොවිඩ් -19 මඟින්  බලපෑමට ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන් සඳහා  සහන සැලසීම සඳහා  ගනු ලබන  ක්‍රියාමාර්ග" යන මැයෙන්  2020 මාර්තු 24 දින  නිකුත් කරන ලද 2020 අංක 4 දරන චක්‍රලේඛය

b. "කොවිඩ් - 19  මඟින් බලපෑමට  පත් පුද්ගලයන්, ස්වයං රැකියා අතුළු ව්‍යාපාර සඳහා සහාය වීමට රුපියල් බිලියන 50ක  සහ මාසික  ප්‍රතිමූල්‍ය  පහසුකමක්  හඳුන්වා  දීම" යන මැයෙන් 2020 මාර්තු මස 27 දින නිකුත් කරන ලද 2020 අංක 5  දරන චක්‍රලේඛය

c. "2020 අංක 04 හා 05  චක්‍රලේඛ සඳහා  සංශෝධන" යන මැයෙන්  2020 අප්‍රේල්  28 දින නිකුත් කරන ලද 2020 අංක 6 දරන චක්‍රලේඛය

d. "කොවිඩ් - 19 මඟින් බලපෑමට  ලක් වූ ව්‍යාපාර හා පුද්ගලයන් සඳහා  සහන  සැලසීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග" යන මැයෙන්  2020 ජූලි  16 දින නිකුත් කරන ලද  2020 අංක 7 දරන චක්‍රලේඛය

e. "කොවිඩ් - 19 මඟින්  බලපෑමට ලක් වූ සංචාරක ක්ෂේත්‍රයේ  නිරත ව්‍යාපාර  හා පුද්ගලයන් හට  ලබා දුන් ණය සහන කාලය දීර්ඝ කිරීම" යන මැයෙන්  2020  අගෝස්තු 26  දින නිකුත් කරන ලද 2020 අංක 8 දරන චක්‍රලේඛය.

මෙම සියලු චක්‍රලේඛ   ශ්‍රී ලංකා මහ බැංකු  වෙබ් අඩවියෙන්  ලබා ගත හැකි  අතර පොදු  මහජනතාවට  www.ebsl.gov.lk  වෙබ් අඩවියට  ප්‍රවේශ වීමෙන්  එම චක්‍රලේඛ  පරිශීලනය කළ හැක.

(ii) ඔව්.

ශ්‍රී ලංකා  මහ බැංකු චක්‍රලේඛවලට අනුගත වෙමින්  ව්‍යාපාර සහ පුද්ගලයන් විශාල පිරිසකට සහන  ලබා දී ඇති අතර එම සියලු ගනුදෙනුකරුවන්ගේ ලේඛන අදාළ බලපත්‍රලාභී බැංකු  හෝ මූල්‍ය සමාගම් සතුව ඇත.

(iii) මහ බැංකුව විසින්  නිකුත් කරන ලද  චක්‍රලේඛන අනුව  එම සහන ලබා ගැනීම සඳහා සුදුසුකම් ඇති  ගනුදෙනුකරුවන් අදාළ මූල්‍ය ආයතන  වෙත තමන්ගේ ඉල්ලීම ඉදිරිපත්  කිරීමට නිශ්චිත  කාල සීමාවක් ලබා දෙන ලදී.  එම කාල සීමාව තුළ ඉල්ලීම් කළ සුදුසුකම් ඇති ගනුදෙනුකරුවන්  හට  එම සහන ලබාදීමට අදාළ මුල්‍ය ආයතනවලට මහ බැංකුව නියෝග  - directives -  ලබා දී ඇත. එහෙයින් එම සහන ගනුදෙනුකරුවන්ට ලැබුණු බවට වාර්තා  විය.

(iv) සපයා ඇති සහන ලබා ගැනීමේ දී අසාධාරණයට ලක්ව ඇති ගනුදෙනුකරුවන්ට සිය පැමිණිලි/දුක්ගැනවිලි සහ ඉල්ලීම් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත බාහිර පාර්ශ්ව  විසින් යොමු කරන පැමිණිලි, දුක්ගැනවිලි පිළිබඳව සොයා බැලීම සඳහා 2020.08.10 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ස්ථාපිත කර ඇති "මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුව"ට ඉදිරිපත් කළ හැකිය. ඊට අමතරව, එක් එක් ගනුදෙනුකරුවන් සහ මූල්‍ය ආයතන අතර ඇති පැමිණිලි සහ ආරාවුල් විභාග කිරීමට සහ විසඳීමට බලය ඇති "මූල්‍ය  ඔම්බුඩ්ස්මන්" වෙතද අදාළ ගනුදෙනුකරුවන්ට තම පැමිණිලි ඉදිරිපත් කළ හැකිය.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2020-10-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks