02

E   |     |  

 දිනය: 2020-09-23   පිළිතුර ලබා දී ඇත 

0125/2020: මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික් ක්‍රී‍ඩාංගණ: ඉදිකිරීම්

125/2020

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා,— තරුණ හා ක‍්‍රීඩා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මුලතිව් දිස්ත්‍රික් ක්‍රීඩාංගණය ඉදිකිරීම සඳහා ස්ථානයක් තෝරාගෙන සැලසුම් සකස් කර ඇති බවත්;

             (ii)       එහෙත්, මේ දක්වා එහි වැඩකටයුතු ආරම්භ කර නොමැති බවත්;

           එතුමා දන්නෙහිද?

(ආ) එසේ නම්, ඉහත ක්‍රීඩාංගණයේ වැඩකටයුතු ආරම්භ කරන දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) මන්නාරම දිස්ත්‍රික් ක්‍රීඩාංගණය ඉදිකිරීමේ කටයුතු සියයට පනහකට වඩා අවසන් කොට ඇතත්, දැනට අවුරුදු 2 කාලයක් පුරා එහි වැඞ නැවතී ඇති බවත්;

(ii) මන්නාරම නගර සීමාවට අයත් එමිල් නගර් ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින මහජන ක්‍රීඞාංගණයේ පළමුවන කොටසේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කොට ඇතත්, එහි දෙවන කොටසේ ඉදිකිරීම් කටයුතු මේ දක්වා ආරම්භ කර නොමැති බවත්;

එතුමා දන්නෙහිද?

(ඈ) එසේ නම්, ඉහත ක්‍රීඩාංගණයේ දෙවැනි කොටසේ වැඩකටයුතු ආරම්භ කරන දිනය කවරේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?  

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-09-23

අසන ලද්දේ

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

තරුණ හා ක‍්‍රීඩා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      පිළිගනිමි.

                        ඉඩම් තෝරා ගෙන තිබෙනවා. සියලු සැලසුම් හදලා තිබෙනවා. සම්බන්ධීකරණ කමිටුවෙත් අනුමත කර තිබෙනවා. හැබැයි, සම්බන්ධීකරණ කමිටුවේ අනුමත කළාට පස්සේ ඒ ඉඩමට පෞද්ගලික අයිතිකරුවෙකු ඉන්නවා කියලා අයිතිවාසිකම් කියා තිබෙනවා. ඒ නිසා එය තාවකාලිකව නතර වෙලා තිබෙනවා.

(ii) පිළිගනිමි.

ඉඩම වෙනුවෙන් මුලතිව් සීලාවත්ත ග්‍රාම නිලධාරි වසමෙන් අක්කර 32ක්  වෙන් කර ඇති බව මුලතිව් දිස්ත්‍රික් ලේකම් දන්වා ඇත. ඒ අනුව, ශක්‍යතා වාර්තා ලැබීමෙන් පසු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය ලබාගැනීමට නියමිතයි.

(ආ) 2021 වසරේ අය වැය ඇස්තමේන්තු සඳහා එම ව්‍යාපෘතිය යොමු කිරීමට බලාපොරොත්තු වනවා.

(ඇ) (i) පිළිගනිමි.

මෙහි ඉදිකිරීම් කටයුතු කරගෙන යනකොට මේක පුරාවිද්‍යා සිද්ධස්ථානයක්, එහෙම නැත්නම් පුරාවිද්‍යා site එකක් කියලා මෙහි වැඩ කටයුතු අවුරුදු 2ක් තිස්සේ නතර කරලා තිබෙනවා. මම හිතන්නේ ගරු කථානායකතුමනි, ඉඩම තෝරා ගන්නකොටවත් ඒ පිළිබඳව හොයලා බලලා නැහැ. හිතුමතේ තමයි පටන් අරගෙන තිබෙන්නේ. පසු කාලීනව එය පුරාවිද්‍යා site එකක් නොවෙයි කියලා දැනුම් දීලා තිබෙනවා. ඒ අනුව වැඩ කටයුතු ආරම්භ කරන්න පුළුවන්.

(ii) ලබන අවුරුද්දේ අය වැය ඇස්තමේන්තු මඟින් ඒ සඳහා මුදල් වෙන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

(ඈ) 2021 වර්ෂයේ අය වැය ඇස්තමේන්තු සඳහා ඇතුළත් කිරීමට කටයුතු යොදා ඇති අතර, 2021 වර්ෂයේ දෙවන කාර්තුවේදී සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. නමුත් ගරු මන්ත්‍රීතුමනි, දැනට පිට්ටනියේ සෙල්ලම් කරන්න පුළුවන්. ක්‍රීඩාගාරයේ අඩුපාඩුව විතරයි තිබෙන්නේ. පිට්ටනිය හදලා අවසන් වෙලා තිබෙන්නේ. අපි stadiums හදනවා වෙනුවට, ලබන අවුරුද්දේ අය වැයෙන් මූලික අවශ්‍යතා ටික හදලා දෙන්නම්. එතෙක් දැනට ප්‍රදේශයේ දරුවන්ට ක්‍රීඩා කරන්න පහසුකම ලබා දුන්නොත් හොඳයි.

(ඉ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2020-09-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks