04

E   |     |  

 දිනය: 2020-09-23   පිළිතුර ලබා දී ඇත 

0112/2020: සමෘද්ධි සහනාධාරය: ඉල්ලුම්කරුවන්

112/2020

ගරු ශාන්ත බණ්ඩාර මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       දැනට සමෘද්ධි සහනාධාරලාභී පවුල් සංඛ්‍යාව කොපමණද;

             (ii)       මේ වනවිට සවිබල ගැන්වු සමෘද්ධි සහනාධාරලාභී පවුල් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) සමෘද්ධි සහනාධාරය ලබාගැනීමේ අරමුණින් ඉල්ලුම් කර ඇති පවුල් විශාල ප්‍රමාණයක් සිටින බව එතුමා දන්නෙහිද?

(ඇ) (i) එම පොරොත්තු ලේඛණයේ ඇති පවුල් සඳහා සමෘද්ධි සහනාධාරය ලබාදීමට පියවර ගන්නේද;

(ii) එසේ නම්, කවර දිනයක සිටද;

 යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2020-09-23

අසන ලද්දේ

ගරු ශාන්ත බණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       2020 සැප්තැම්බර් 01 දිනට සමෘද්ධි සහනාධාර ලැබූ මුළු පවුල් සංඛ්‍යාව 1,784,082කි. එය සහනාධාර වර්ගීකරණය අනුව පහත පරිදි වේ. ‍

වර්ගීකරණය

පවුල් සංඛ්‍යාව

රු.   420.00

      83,551

රු.1,500.00

    636,445

රු.2,500.00

    350,278

රු.3,500.00

    713,808

එකතුව

1,784,082

(ii) සමෘද්ධි සහනාධාරලාභි පවුල් සවිබලගැන්වීමට අදාළව සමෘද්ධි ව්‍යාපාරය ආරම්භයේ සිටම වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ යටතේ ප්‍රතිලාභින් විශාල ප්‍රමාණයක් සවිබලගැන්වී ඇත. එම වැඩ පිළිවෙළ හේතුවෙන් 2005 වසර වනවිට 1,960,664ක් පමණ වූ සමෘද්ධිලාභින් සංඛ්‍යාව, 2015 වසර ආරම්භයේදී 1,453,078ක් වූ අතර, 2018 වසර වනවිට 1,384,021 දක්වා අඩු වීම කැපී පෙනෙන සාධනීය ලක්ෂණයක් ලෙස පෙන්වා දිය හැක. එතැන   තමයි වැදගත් කරුණ තිබෙන්නේ, ගරු කථානායකතුමනි.

කෙසේ වුවද, පසුගිය යහපාලන රජය විසින් 2019 වර්ෂයේදී දේශපාලන ලෙස තෝරා ගත් නව ප්‍රතිලාභින් 433,500කට පමණ සමෘද්ධි සහනාධාර හිමිකම් ලබා දීම නිසා මේ වනවිට මුළු සමෘද්ධිලාභින් සංඛ්‍යාව 1,784,082ක් දක්වා වර්ධනය වී ඇත.

ගරු කථානායකතුමනි, මේ විධියට සමෘද්ධිලාභී පවුල් සංඛ්‍යාවෙන් සියයට 25කට එම සහනාධාරය ලබාදී තිබෙන්නේ, 2019දී පැවැති ජනාධිපතිවරණයේදී එවකට පැවති යහ පාලන ආණ්ඩුවේ නායකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන්. තවම දිළිඳුභාවයෙන් ඉන්න කණ්ඩායම් අපි මේ වනවිට හඳුනාගෙන යනවා. ඉදිරියේදී අපි ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නවා.

(ආ) එම සහනාධාරය ඉල්ලුම් කර ඇති සංඛ්‍යාව 683,336කි.

(ඇ) (i) පො‍රොත්තු ලේඛනයේ ඇති අයදුම්කරුවන් අතුරින් සමෘද්ධි සහනාධාර ලබා ගැනීම සඳහා සුදුසුකම් සපුරා ඇති පවුල් පිළිබඳව දීප ව්‍යාප්තව විධිමත්, නිවැරදි අධ්‍යයනයක් සිදු කර එම පවුල් හඳුනාගෙන නව සමෘද්ධි සහනාධාරය ලබා දීමට අපේක්ෂා කෙරේ.

ගරු අගමැතිතුමාගේ උපදෙස් පරිදි, මේ පිළිබඳව විධිමත් අධ්‍යයනයක් කරන්න කියලා මේ වනවිට සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්තුමා වෙත දන්වා තිබෙනවා, ගරු කථානායකතුමනි. තව මාස දෙකක් ඇතුළතදී මේ සම්බන්ධයෙන් ඉතාම සවිස්තර තොරතුරු ලබාගෙන ඉදිරි පියවර ගන්න අපි බලාපොරොත්තු වනවා.

(ii) මේ වනවිට ඉහත කරුණට අදාළව හා දැනටමත් සවිබලගැන්වී ඇති ප්‍රතිලාභින් හඳුනා ගැනීමට ඉදිරි සැලසුම් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සකස් කරමින් පවතින අතර, අවසන් තීරණයකට එළැඹීමෙන් පසු නිශ්චිත දින වකවානු පැවසිය හැකි බව සඳහන් කරමි.

මේ පිළිබඳව අවසන් තීරණයකට එළැඹිය හැක්කේ අපි කරන සමීක්ෂණයේ  ප්‍රතිඵල ලැබුණාට පසුවයි, ගරු කථානායකතුමනි. ඒ සමීක්ෂණය ඉතාම විධිමත්ව, දීප ව්‍යාප්තව සිදු කරලා, ඒ ලබා ගන්නා තොරතුරු මත තමයි  ඊළඟට සමෘද්ධි සහනාධාරය ලැබිය යුතු කණ්ඩායම් පිළිබඳ  නිශ්චිත තීරණය ගන්නේ.

(ඈ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2020-09-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks