බලන්න

04

E   |     |  

 දිනය: 2020-10-09   පිළිතුර ලබා දී ඇත 

0105/2020: කෘත්‍රිම රා නිෂ්පාදනය: විස්තර

105/2020

ගරු බුද්ධික පතිරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)      2017.01.01 සිට 2019.01.01 දක්වා ශ්‍රී ලංකා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ සුරාබදු දෙපාර්තමේන්තුව යන එක් එක් ආයතන විසින් —

              (i)       සිදු කරන ලද කෘත්‍රිම රා වැටලීම් සංඛ්‍යාව;

(ii) අත්අඩංගුවට ගත් කෘත්‍රිම රා ලීටර් ප්‍රමාණය;

(iii) සිදු කරන ලද වැටලීම් මඟින් අයවූ දඩ මුදල්වල වටිනාකම; 

වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) ඇතැම් රා නිෂ්පාදකයන්ට අනුමත ප්‍රමාණයට වඩා ගබඩා පහසුකම් පවතින බවත්;

(ii) ඔවුන් කෘත්‍රිම රා නිෂ්පාදනය කර ගබඩා කරන බවත්;

(iii) පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් කෘත්‍රිම රා  අත්අඩංගුවට ගත්තද, ඇතැම් සුරාබදු නිලධාරින් විසින් ඒවා අධිකරණයට ඉදිරිපත් නොකර, තාක්ෂණික දෝෂ ලෙස පෙන්වා සමථ ගාස්තුවකට යටත්ව වැරදිකරුවන් නිදහස් කරන බවත්;

(iv) කෘත්‍රිම රා නිෂ්පාදනය, තාක්ෂණික දෝෂයක් නොව, ඇතැම් සුරාබදු නිලධාරින් විසින් චේතනාන්විතව එම නිෂ්පාදකයන් ආරක්ෂා කිරීමක් බවත්;

(v) මෙමඟින් රජයට විශාල බදු මුදලක් අහිමි වන බවත්; 

එතුමා පිළිගන්නෙහිද?

(ඇ) (i) කෘත්‍රිම රා නිෂ්පාදනය නැවැත්වීමට අදාළ නීති, සංශෝධනයට  ක්‍රියාමාර්ග ගෙන තිබේද;

(ii) එසේ නම්, එම ක්‍රියාමාර්ග කවරේද;  

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2020-10-09

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)                    (i), (ii), (iii) හි පිළිතුර ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම පහත දැක්වේ.

ශ්‍රී ලංකා පොලීසිය

වර්ෂය

නඩු ගණන

අත්අඩංගුවට ගන්නා ලද ‘කෘත්‍රිම රා’ ලීටර් ප්‍රමාණය

‘කෘත්‍රිම රා’ වැටලීම් මඟින් අයකරගන්නා ලද දඩ මුදල් ප්‍රමාණය (රුපියල්)

2017

1828

956550.36

2,285,900.00

2018

1641

283624.89

9,515,000.00

2019

03

1507.75

5,000.00

එකතුව

3472

1,241,683.00

11,805,900.00

පොලිස් විශේෂ කාර්ය බලකාය

වර්ෂය

නඩු ගණන

අත්අඩංගුවට ගන්නා ලද ‘කෘත්‍රිම රා’ ලීටර් ප්‍රමාණය

‘කෘත්‍රිම රා’ වැටලීම් මඟින් අයකරගන්නා ලද දඩ මුදල් ප්‍රමාණය (රුපියල්)

2017

08

7595

52,000.00

2018

03

17.25

12,000.00

2019

00

00

00

එකතුව

11

7614.25

64,000.00

(ආ) (i) නැත. රා නිෂ්පාදකයන් විසින් සිය රා  තොග ගබඩා කර ගැනීම සඳහා ප්‍රමාණවත් ගබඩා පහසුකම් සපයා ගත යුතු අතර, ඒ පිළිබඳ උපරිම සීමාවක් පනවා නොමැත.

(ii) සමහර රා නිෂ්පාදකයන් විසින් සිය රා තොගවල පරිමාව සහ සැර ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා ජලය, සීනි, යීස්ට් ආදී බාහිර ද්‍රව්‍ය එකතු කරන ලද අවස්ථා නිරීක්ෂණය කර ඇති අතර, එවැනි අවස්ථාවලදී එම බලපත්‍රධාරින්ට එරෙහිව කාර්මික අපරාධ වාර්තා ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත. මෙවැනි රා තොග "කෘත්‍රිම රා" ලෙස ජනමාධ්‍ය මඟින් හදුන්වා දී ඇති අතර, එය නෛතික ‍හෝ රසායන විද්‍යාත්මක නාමකරණයක් නොවේ.

(iii) පිළි නොගනී. කිසියම් සුරාබදු බලපත්‍රධාරියෙකු විසින් සිය බලපත්‍රය යටතේ ක්‍රියාත්මක වීමේදී සිදු කරනු ලබන බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියා මාර්ගය සුරාබදු ආඥා පනතෙහි 48 හා 56වන වගන්ති මඟින් දක්වා ඇති අතර, ඒ අනුව එම වැරදි කාර්මික අපරාධ සේ සලකා සමථ කිරීමේ ක්‍රියාවලියකට යොමු කිරීමට කටයුතු කරනු ලැබේ. මෙම සමථ කිරීමේ ක්‍රියාවලියෙහිදී අධිකරණයකදී පැනවිය හැකි උපරිම දඩ මුදල මෙන් සිවු ගුණයක සමථ ගාස්තුවක් අය කර ගැනීමට හැකියාව තිබේ. එකී සමථ මුදල් ගෙවූ පසුව සුරාබදු නීතියෙහි ප්‍රකාරව අදාළ වරද සම්බන්ධයෙන් වෙනත් ක්‍රියා මාර්ගයක් ගැනීමේ අවකාශයක් නොමැත.

(iv) රා ‍තොගවල පරිමාව සහ සැර ප්‍රමාණය වැඩි කරගැනීම සඳහා කරනු ලබන ක්‍රියා සුරාබදු නිලධාරින්ගේ අධීක්ෂණයෙන් බැහැරව සිදු වන්නක් වන අතර, එවැනි ක්‍රියාවක් නිරීක්ෂණය කරන ලද අවස්ථාවලදී සුරාබදු නිලධාරින් විසින් නීතිමය ප්‍රතිපාදන පරිදි ඊට එරෙහිව කටයුතු කර ඇත. එවැනි ක්‍රියාවල යෙදෙන රා නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රතිපත්තිය නොවන අතර, ඔවුන්ගේ එම ක්‍රියාවලට එරෙහිව උපරිම නීතිමය පියවර ගැනීමට දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරනු ලැබේ.

(v) පිළිනොගනී. මෙහිදී රජයට කිසිදු බදු මුදලක් අහිමි නොවන අතර, සැබැවින්ම සිදු වන්නේ බදු අය කරනු ලබන රා තොග සමඟ එම රා තොගද එකතු කිරීමයි.

(ඇ) (i) මේ සඳහා ප්‍රමාණවත් නීති පවතින අතර, අවශ්‍ය වන්නේ නිසි ලෙස නීති ක්‍රියාත්මක කිරීම සඳහා තීරණාත්මක සාධකයක් වන මහ රා සම්බන්ධයෙන් වූ දේශීය ප්‍රමිති හඳුන්වා දීමයි. මෙම මහ රා සම්බන්ධයෙන් වූ දේශීය ප්‍රමිති හඳුන්වා දීම සඳහා දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇත.

(ii) රා තොගවල පරිමාව සහ සැර ඇතුළුව ඒවායේ ස්වභාවය වෙනස් කිරීම සඳහා කරනු ලබන ක්‍රියාමාර්ගවලට එරෙහිව කටයුතු කිරීමේ දී එම රා වලට අදාළ දේශීය ප්‍රමිතිය පිළිබඳ දර්ශක තීරණාත්මක වේ. මහ රා පිළිබඳ ප්‍රමිතියක් හඳුන්වා දීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ සහභාගිත්වයෙන් යුතු කමිටුවක් මඟින් අවශ්‍ය කටයුතු සිදු කරගෙන යනු ලැබේ.

(ඈ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2021-12-02

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks