04

E   |     |  

 දිනය: 2020-09-24   පිළිතුර ලබා දී ඇත 

0098/2020: Global climate change effect to SL

98/2020 ගරු බුද්ධික පතිරණ මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (අ) (i) ගෝලීය දේශගුණ විපර්යාසයන් හේතුවෙන් ශ්‍රී ලංකාවේ දේශගුණයට අයහපත් බලපෑම් සිදුවන බවත්; (ii) එය ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජීය, සංස්කෘතික හා වෙනත් අංශයන්ට සෘජුව බලපාන බවත්; එතුමා පිළිගන්නෙහිද? (ආ) (i) ගෝලීය දේශගුණ ප්‍රවනතාවන් ලංකාවට බලපාන ආකාරය පිළිබඳ විද්වත් අධ්‍යයනයක් සිදු කිරීමට රජය පියවර ගෙන තිබේද; (ii) එසේ නම්, එම අධ්‍යයනයේ නිර්දේශ කවරේද; (iii) නොඑසේ නම්, එවැනි අධ්‍යයනයක් සිදු කිරීමට විද්වත් කමිටුවක් පත් කරන්නේද; (iv) එසේ නම්, එම දිනය කවරේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද? (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2020-09-24

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

පරිසර

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්.

              (ii)      දේශගුණ විපර්යාසවල අවබලපෑම ශ්‍රී ලංකාවට පමණක් නොව ලොව බොහෝ රටවලට බලපා ඇති ගෝලීය පාරිසරික ගැටලුවකි. එමඟින් පරිසරයට පමණක් නොව සමස්ත ප්‍රජාවගේම ආර්ථික, සමාජයීය මෙන්ම සංස්කෘතික ක්‍රියාකාරකම් සඳහා අහිතකර අයුරින් බලපෑම් ඇති කරනු ලබයි.                        

(ආ)          (i)      දේශගුණ විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවේ දේශගුණය වෙනස්වීම පිළිබඳ දැනට ඇතිවී ඇති හා අනාගතයේ ඇති විය හැකි වෙනස්කම් සම්බන්ධයෙන් අන්තර්ජාතික වශයෙන් පිළිගත් නිර්ණායක හා පුරෝකථනයන්ට අනුකූලව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් විද්‍යාත්මක අධ්‍යයනයක් සිදු කර ඇත.

එසේම, විවිධ පර්යේෂණ ආයතන හා විද්වතුන් විසින් දේශගුණ විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳ අධ්‍යයනය කර පර්යේෂණ පත්‍රිකා ද ඉදිරිපත් කර ඇත.

ඉහත අධ්‍යයනයන් පදනම් කර ගනිමින් එම පුරෝකථනයන්ට අනුව දේශගුණ විපර්යාසවල අයහපත් බලපෑම විවිධ ක්ෂේත්‍රයන්ට හා විවිධ ප්‍රදේශවලට බලපෑම් ඇති කරන ආකාරය පිළිබඳව ද ක්ෂේත්‍රයේ විද්වතුන්, අදාළ රාජ්‍ය හා රාජ්‍ය නොවන පාර්ශ්වකාර ආයතනවල ද සහභාගිත්වය ඇතිව අධ්‍යයනයන් සිදු කර ඇත.

මීට අමතරව පරිසර අමාත්‍යාංශය යටතේ ස්ථාපනය කර ඇති දේශගුණ විපර්යාස සඳහා අනුහුරුවීමේ විද්වත් කමිටුව හා දේශගුණ විපර්යාස සඳහා හේතුවන හරිතාගාර වායු අවම කිරීමේ විද්වත් කමිටුව මඟින් දේශගුණ විපර්යාස බලපෑම් සඳහා සාර්ථකව මුහුණ දීමට ගතයුතු සුදුසු ක්‍රියාමාර්ග ද නිර්දේශ කර ඇත.

(ii) ඉහත අධ්‍යයනයන්ට අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාවේ වියළි කලාපය තවදුරටත් වියළි වන අතර තෙත් කලාපය තවදුරටත් තෙත් භාවයට පත්වන බවයි. එසේම වර්ෂාපතනයේ මෙම වෙනස්කම් හේතුවෙන් අනාගතයේ ශ්‍රී ලංකාවේ තෙත්, අතරමැදි හා වියළි යන දේශගුණික කලාපවල ව්‍යාප්තියේ වෙනස්වීමක් ද සිදු වන බවට පුරෝකථනය කර ඇත.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන, අනාගත දේශගුණික විපර්යාස අභියෝගවලට මුහුණ දීම සඳහා එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ ජාතික කේන්ද්‍රස්ථානය වන පරිසර අමාත්‍යාංශය විසින් ප්‍රධාන ප්‍රවේශයන් තුනක් හඳුනාගෙන ඇත.

පළමු ප්‍රවේශය : වියළි කලාපයේ ජල සංරක්ෂණය වැඩිදියුණු කිරීම සඳහා පුරාණ එල්ලංගා වැව් පද්ධතිය නැවත ප්‍රතිෂ්ඨාපනය කිරීම

දෙවන ප්‍රවේශය  : මධ්‍යම කඳුකරයේ හායනයට ලක් වූ ජල පෝෂක ප්‍රදේශ ප්‍රතිෂ්ඨාපනය හා තිරසර ලෙස භාවිත කිරීම

තෙවන ප්‍රවේශය : තෙත් කලාපයේ අතිරික්ත ජලය වියළි කලාපයට හැරවීම

ඉහත ප්‍රවේශයන් තුන යටතේ විවිධ අංශ ඉලක්ක කර ගනිමින් දේශගුණ විපර්යාස බලපෑම්වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරමින්, විද්‍යාත්මකව හා පරිසර හිතකාමීව අධ්‍යයනය කර කටයුතු කිරීමට පියවර ගනු ලැබේ. දේශගුණ විපර්යාසවලින් ශ්‍රී ලංකාවට ඇති විය හැකි අහිතකර බලපෑම් අනුව කෘෂි කර්මාන්තය, පශු සම්පත්, ධීවර, සෞඛ්‍ය, ජල සම්පත්, පරිසර පද්ධති හා ජෛව විවිධත්ව, සංචාරක හා මානව ජනාවාස හා යටිතල පහසුකම් වැනි ක්ෂේත්‍රවලට ඇති බලපෑමත්, ඇති විය හැකි ආකාරය හා එහි භූගෝලීය ව්‍යාප්තියත් හඳුනාගෙන ඇති අතර, දේශගුණ විපර්යාසවලට සාර්ථකව මුහුණදීම සඳහා අනුහුරු ක්‍රියාමාර්ග ද හඳුනාගෙන ඇත. ඒ අනුව, ඉදිරි කටයුතු සිදු කරනු ලැබේ.

(iii) ඉහත (ආ) (ii) අනුව මේ වන විටත් අධ්‍යයනයන් සිදු කර ඇත.

(iv) ඉහත (ආ) (ii) අනුව අදාළ නොවේ.

(ඇ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2020-09-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks