04

E   |     |  

 දිනය: 2020-09-23   පිළිතුර ලබා දී ඇත 

0002/2020: පරිභෝජනයට නුසුදුසු ටින් මාළු ආනයනය: විස්තර

2/2020

ගරු හේෂා විතානගේ මහතා,— වෙළඳ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මෙරටට ටින් මාළු ආනයනය කරනු ලබන රටවල් කවරේද;

             (ii)       එම ටින් මාළු ආනයනය කරනු ලබන මෙරට සමාගම් කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ)        (i)       2019 වර්ෂය තුළ පරිභෝජනයට නුසුදුසු ටින් මාළු ආනයනය කළ අවස්ථා කවරේද;

(ii) එම ටින් මාළු ආනයනය කළ සමාගම් සහ ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) අදාළ ආනයන කටයුතු සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අවසරය ලබා දී තිබේද;

(iv) ආනයනය කළ භාවිතයට නුසුදුසු ටින් මාළු සඳහා ගනු ලැබූ පියවර කවරේද;

(v) 2019 වර්ෂයට පෙර අවස්ථාවලදී ද පරිභෝජනයට නුසුදුසු ටින් මාළු ආනයනය කර තිබේ නම්, එම අවස්ථාවලදී ආනයනය කළ සමාගම් කවරේද;  

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2020-09-23

අසන ලද්දේ

ගරු හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව ටින් මාළු ආනයනය කරනු ලබන රටවල් ඇමුණුම් අංක 01හි දක්වා තිබෙනවා. ගරු මන්ත්‍රීතුමනි, චිලී රට, තායිලන්තය, ජපානය ඇතුළු රටවල් 33කින් ටින් මාළු ආනයනය කරනවා. එම ලැයිස්තුව ඇමුණුම් අංක 01 ලෙස ඉදිරිපත් කර තිබෙනවා.

              (ii)      ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව ටින් මාළු ආනයනය කරනු ලබන මෙරට සමාගම් විස්තර ඇමුණුම් අංක 02හි දක්වා තිබෙනවා.

(ආ) (i) ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව 2019 වර්ෂය තුළ පරිභෝජනයට නුසුදුසු ටින් මාළු ආනයනය කළ අවස්ථා රාශියක් තිබෙනවා. එම තොරතුරු ඇමුණුම් අංක 03හි දක්වා තිබෙනවා. ඒවා ප්‍රති අපනයනය - reshipment - සඳහා විධාන කළ විස්තර අඩංගු වගුවක් තිබෙනවා. ටින් මාළු ආනයනය කළ ආයතන එහි දක්වා තිබෙනවා. ආයතන 28ක් එලෙසින් පරිභෝජනයට නුසුදුසු ටින් මාළු ආනයනය කරලා, ඒවා නැවත හරවා යවා තිබෙනවා.

(ii) ශ්‍රී ලංකා රේගුව විසින් ලබා දී ඇති තොරතුරු අනුව එම ටින් මාළු ආනයනය කළ සමාගම් සහ ප්‍රමාණ වෙන් වෙන් වශයෙන් ඇමුණුම් අංක 03හි දක්වා තිබෙනවා.

(iii) මෙම ආනයන සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අවසරය ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නැහැ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය - Consumer Affairs Authority - ආනයනය පිළිබඳ ගුණත්වය පරීක්ෂා කරන්නේ නැහැ. ඒ සඳහා තිබෙන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයයි. එය සිදු කරන ආකාරය පිළිබඳව ඔබතුමාට මම දැනුම් දෙන්නම්.

(iv) ආනයනය කරන ලද ටින් මාළු තොග සියල්ලම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන පරිපාලන ඒකකය විසින් අනුමත කරන තෙක් ශ්‍රී ලංකා රේගුවේ පරීක්ෂණ අංගණවල රඳවා ගනු ලැබේ. මෙම තොග ප්‍රතික්ෂේප වුවහොත් රේගු අධීක්ෂණය යටතේ අපනයනකරු වෙත ආපසු යවනු ලැබේ. නිසි බලධාරියාගේ අනුමැතියකින් තොරව කිසිදු භාණ්ඩ තොගයක් භාණ්ඩ භාර ගන්නාගේ ගුදම හෙවත් ගබඩාවට මුදා හරිනු නොලැබේ. නැවත නැව්ගත කිරීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කරනු ලබන්නේ ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂණ ඒකකය විසිනි.

(v) ඇමුණුම 04හි විස්තරාත්මකව ඒ විස්තර දක්වා තිබෙනවා, 2005 වර්ෂයේ සිට ආනයනය කරන ලද ටින් මාළු තොග පිළිබඳ සහ ඒවායේ වටිනාකම් පිළිබඳ සම්පූර්ණ විස්තරයක්. ඒ වාගේම, ප්‍රතික්ෂේප කරපු ඒවා පිළිබඳ විස්තරයක් ද තිබෙනවා. අනික් සියලු විස්තර ඇමුණුම් වශයෙන් විස්තරාත්මකව ලබා දීලා තිබෙනවා. මා ඒ සියලු ඇමුණුම් සභාගත* කරනවා.

(ඇ) පැන නොනගී.

 

පිළිතුරු දුන් දිනය

2020-09-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks