පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
769/’19
ගරු විදුර වික්‍රමනායක මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) සී/ස නැගෙනහිර හේවාගම් කෝරළයේ, විවිධ සේවා සමූපකාර සමිතියේ, ග්‍රාමීය බැංකු ශාඛාවන්හි තැන්පත් කර ඇති රුපියල් කෝටි 54ක තැන්පත් මුදල් සම්බන්ධයෙන් සිදු වී ඇති අක්‍රමිකතාවයක් හේතුවෙන් සමුපකාර සමිතියට ප්‍රදේශයේ එදිනෙදා ජන ජීවිතයට බලපාන සේවාවන් ඉටුකරවා ගැනීමට ද නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත්;
(ii) තැන්පත් මුදල් ආපසු ලබා ගැනීමට නොහැකි වීමෙන් තැන්පත්කරුවන් සහ සමුපකාර සමිතියේ සාමාජිකයන් ගැටලුකාරි තත්ත්වයකට මුහුණ දී සිටින බවත්;
(iii) මෙම තත්ත්වය හේතුවෙන් විවිධ සේවා සමූපකාර සමිතියේ සේවකයන්ගේ රැකියා පවා අහිමිවීමට ඉඩ ප්‍රස්ථාව පවතින බවත්;
(iv) මෙම වංචාව හේතුවෙන් දිනෙන් දින අදාළ සේවාවන් බිද වැටීමෙන් සමූපකාර පද්ධතියම අගාධයට යෑමේ තත්ත්වයකට පත්වී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) මෙම අර්බූදය කඩිනමින් විසඳීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2019-06-20
අසන ලද්දේ
ගරු විදුර වික්‍රමනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) ඔව්.
සී/ස නැඟෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමුපකාර සමිතියේ එවකට සිටි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එන්ට්‍රස්ට් ලිමිටඩ් නම් ආයතනයක් මඟින් භාණ්ඩාගාර බිල්පත් සඳහා රු. 507,588,640.00 මුදලක් පහත පරිදි ආයෝජනය කර තිබීමත්, මෙම ආයෝජනය කල්පිරීමෙන් පසු එම ආයෝජිත මුදල් එන්ට්‍රස්ට් ලිමිටඩ් ආයතනය විසින් සමිතියට නොගෙවීම නිසා සමිතියේ තැන්පත්කරුවන් හට තැන්පත් ආපසු ගෙවීමට නොහැකි වීමෙන් මූල්‍ය අර්බුදයක් පැන නැඟී ඇති අතර ඒ අනුව සමිතියට තම එදිනෙදා කටයුතු පවත්වාගෙන යමින් බැංකු කටයුතු යාවත්කාලීනව පවත්වා ගැනීමට නොහැකි වී ඇත.
මෙම අවදානමට පත් වූ ආයෝජන සඳහා වර්තමාන පොලී ප්‍රතිශතය මත අගය කිරීම සිදු කළ විට එහි අගය 2019.02.28 දිනට රු. 661,180,857.00 (2019.02.28 දිනට පොලී ප්‍රතිශතය සමඟ)කි. නමුත්, මෙම මුදල් ආයෝජනය කර ඇති ආයතනය මඟින් ශ්‍රී ලංකා මහ බැංකුව නමින් සමිතියට නිකුත් කර ඇති භාණ්ඩාගාර බිල්පත්වල සහතික, ව්‍යාජ ලේඛන බවත් මෙම ආයතනය ශ්‍රී ලංකා මහා බැංකුවේ අනුමත ප්‍රාථමික ගැනුම්කාර සමාගමක් නොවන බවත් තහවුරු කර ඇත. ඒ අනුව මෙම ආයෝජනය ආපසු ලබා ගැනීමේ දැඩි අවදානම් බවක් ඇති වී ඇත.
(ii) සී/ස නැඟෙනහිර හේවාගම් කෝරළයේ විවිධ සේවා සමුපකාර සමිතියේ ග්‍රාමීය බැංකු ශාඛා 24කින් ගිණුම් හිමියන් 115,068 දෙනෙකු මඟින් ස්ථාවර හා සාමාන්‍ය තැන්පත් වශයෙන් රු. 925,269,458.00ක මුදලක් 2019.02.28 දිනට රැස් කර ඇත. මෙම තැන්පත් වටිනාකමින් 71.45% ප්‍රතිශතයක් මෙම අවදානම් ආයෝජන මඟින් අහිමි වීමක් නිරීක්ෂණය වන බැවින් සාමාජීය වශයෙන් සාමාජිකයන් හා තැන්පත්කරුවන් ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දී ඇත.
(iii) මෙම තත්ත්වය මත සමිතියේ සියලුම අංශ අක්‍රීය වී සේවක වැටුප් ගෙවීමටද නොහැකි වීම හේතුවෙන් සේවක උද්ඝෝෂණ ඇති වූ අතර සමිතියේ සියලුම කටයුතු අඩ පණ වී තිබීම හේතුවෙන් එවකට සිටි සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය එනම් මෙම අවදානම් ආයෝජනය සිදු කරන ලද අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කර 2018.08.15 දින සිට සමුපකාර සංවර්ධන නිලධාරින් තිදෙනෙකුගෙන් යුතු පාලක මණ්ඩලයක් පත් කරන ලදී. නමුත්, සමිතියේ කල්පසු ණය හා සක්‍රීය ණය රු. මිලියන 166කට ආසන්න මුදල් ප්‍රමාණය පමණක් සමිතියේ ද්‍රවශීල වත්කම් වන බැවින් සමිතියේ සේවකයන්ගේ රැකියා සඳහා අර්බුදකාරී තත්ත්වයක් ඇති විය හැක.
(iv) එක් විවිධ සේවා සමුපකාර සමිතියක බිඳ වැටීම හේතුවෙන් සමස්ථ සමුපකාර පද්ධතියම අගාධයට යෑමේ තත්ත්වයක් ඇති වී ඇති බව නිරීක්ෂණය නොවේ.
(ආ) ඔව්.
දැනටමත් මේ සඳහා පහත ක්‍රියා මාර්ග ගෙන ඇත. ඒවා නම්;
* වත්මන් පාලක මණ්ඩලය විසින් දැනට මෙම ආයෝජිත ආයතනයට එදිරිව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයට හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි සිදු කර ඇති අතරම මා විසින් ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි සිදු කර ඇත.
* ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මහ බැංකුවේ අවසරය නොමැතිව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එන්ට්‍රස්ට් ලිමිටඩ් සමාගමේ අධ්‍යක්ෂකවරුන් හා නිලධාරින්ට විරුද්ධව ඉදිරිපත් කරන ලද පැමිණිල්ල විභාග කිරීමේදී එම චූදිතයන් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පමුණුවා ඇප මත මුදාහැර ඇත.
* ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් 2019.02.26 දිනැතිව සමිතිය වෙත යොමු කර ඇති ලිපිය මඟින් එන්ට්‍රස්ට් ලිමිටඩ් PLC ආයතනයේ මුදල් ආයෝජනය කිරීමෙන් අර්බුදයට ලක් වූ ආයෝජන සඳහා සුදුසු ගෙවීම් සැලසුමක් දැනට ගරු නීතිපතිතුමාට යොමු කර ඇති බවත් ඒ සඳහා දැනට වෝහාරික විගණනයක් සිදුකරමින් පවතින බවත්, අදාළ අනුමැතිය ලද වහා තීරණ දැනුම් දෙන බවත් දන්වා ඇත. එසේ වුවත් සමිතිය ආයෝජනය සිදු කර ඇති එන්ට්‍රස්ට් ලිමිටඩ් ආයතනයේ ආයෝජනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ තම වගකීම් පිළිබඳව මෙතෙක් දැනුම් දී නොමැත.
* තවද, වර්තමාන පාලක මණ්ඩලය විසින් මෙම ආයෝජනය සිදු කිරීමට ක්‍රියාත්මක වූ එවකට ගණකාධිකාරී, බැංකු සේවා කළමනාකරු, සාමාන්‍යාධිකාරි හා අධ්‍යක්ෂ මණ්ඩලයට එදිරිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට කටයුතු කර ඇත.
* බස්නාහිර පළාත් සමුපකාර සමිති ප්‍රඥප්තියේ සමුපකාර සංවර්ධන කොමසාරිස්තුමා හට ලැබී ඇති බලතල පරිදි මෙවැනි අවදානම් ආයෝජන සිදු කිරීම හා එමඟින් සමිතියේ වත්කම්වලට හානි සිදු කිරීම හා තැන්පත්කරුවන්ගේ තැන්පත් අවදානමට ලක් කිරීම සම්බන්ධයෙන් වගකිව යුත්තන් හඳුනා ගැනීම හා ඒවා අය කර ගැනීමට අදාළව බස්නාහිර පළාත් සමුපකාර සමිති ප්‍රඥප්තියේ 47(2)(ආ) වගන්තිය පරිදි විමර්ශනයක් සිදු කරමින් පවතී.
* එසේම තැන්පත්කරුවන්ට තැන්පත් ගෙවීම සඳහා පහත පරිදි තාවකාලික ක්‍රමවේදයක් 2019.01.01 දින සිට ආරම්භ කර ඇත.
i. මරණයකදී රු. 40,000.00
ii. මංගල කටයුත්තකදී රු. 40,000.00
iii. ආගමික ස්ථානවල ගිණුම්වලට (මාසිකව) රු. 5,000.00
iv. රෝගීන් සඳහා වෛද්‍ය වාර්තාව මත මසකට රු. 5,000.00
v. අවු. 60ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම් හිමියන් සඳහා මසකට රු. 1,000.00ක උපරිමයක්
vi. අධ්‍යාපන කටයුතුවල යෙදෙන දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ භාරකරුවන් හෝ ළමා තැන්පත්කරුවන් සඳහා වසරකට රු. 10,000.00ක උපරිමයක්
vii. විශ්වවිද්‍යාල ප්‍රවේශය ලත් දරුවන්ගේ තැන්පත් සඳහා මසකට රු. 40,000.00 උපරිමයක්
viii. ප්‍රජා මූල සංවිධානය සඳහා මසකට රු. 2,000.00- 5,000.00 අතර ප්‍රමාණයක්
ix. හදිසි ශල්‍යකර්ම සඳහා වෛද්‍ය වාර්තා මත ගිණුමේ ශේෂයෙන් 50% හෝ රුපියල් ලක්ෂ 03 උපරිමයක්.
(ඇ) උක්ත පිළිතුර අනුව අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2019-06-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks